May 04, 2024

‘දෙමුහුන් අපරාධ අධිකරණ‘ ක‍්‍රියාවලියේ සැලසුමක් ගැන විමල් හෙළි කරයි  

නිදහස ලැබෙන එල්.ටී.ටී.ඊ සාමාජිකයන් නුදුරේදී ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවීමට නියමිත ‘දෙමුහුන් අපරාධ අධිකරණ ක‍්‍රියාවලියේදී’ මෙරට නිත්‍යානුකූල ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව ප‍්‍රබල සාක්‍ෂිකරුවන් ලෙස යොදා ගැනීමේ සැලසුමක්ද පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

“විවිධ බරපතළ අපරාධ චෝදනා යටතේ බන්ධනාගාර ගත කොට සිටින එල්. ටී. ටී.ඊ. සැකකරුවන් දේශපාලන සිරකරුවන් සේ සලකා නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුව මේවන විට සියලූ කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍ය වෙතින් වාර්තා වෙමින් පවතී.

පසුගිය තිස් වසරක යුද සමය තුළ බරපතළ ත‍්‍රස්ත ක‍්‍රියා රැසකට සම්බන්ධ ප‍්‍රබල එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිරිසක් ද මෙසේ නිදහස ලැබීමට නියමිත පිරිස අතර සිටින බව ද දැන ගැනීමට තිබේ. මෙසේ නිදහස ලැබෙන එල්.ටී.ටී.ඊ සාමාජිකයන් නුදුරේදී ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවීමට නියමිත ‘දෙමුහුන් අපරාධ අධිකරණ ක‍්‍රියාවලියේදී’ මෙරට නිත්‍යනුකූල ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව ප‍්‍රබල සාක්‍ෂිකරුවන් ලෙස යොදා ගැනීමේ සැලසුමක්ද පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් අනාවරණය වී ඇත.

අද වන විට ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීම සඳහා බිහිසුණු ගනයේ ත‍්‍රස්ත ක‍්‍රියාවල නිතර වූ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ට නිදහස ලැබෙමින් පවතී. ඒ අතරේ ශ‍්‍රී ලංකාව බිහිසුණු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයෙන් බේරාගත් නිත්‍යනුකූල ආරක්‍ෂක හමුදාවන්හි සාමාජිකයන් යුද අපරාධකරුවන් සේ සලකා ද`ඩුවම් කිරීමට අදාළ ‘දෙමුහුන් යුද අපරාධ අධිකරණ ක‍්‍රියාවලියකට’ පාර කැපී තිබේ. මේ සියල්ල අද ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ භාරකාරත්වය දරන මෛත‍්‍රී - රනිල් පාලනය යටතේ ශ‍්‍රී ලංකා ජනතාවට ලැබෙන ‘‘ප‍්‍රතිලාභයන්’’ය.

2015 ජනවාරි 08 වැනිදා සහ 2015 අගෝස්තු 17 වැනිදා මෙරට බොහෝ පිරිස් ‘වෙනසක්’ බලාපොරොත්තුවෙන් ‘මෛත‍්‍රී - රනිල් පාලනයකට’ ඡන්දය පාවිච්චි කළහ. මේ ඔවුනට ලැබී ඇති ‘වෙනස’යි. අපගේ විශ්වාසය වන්නේ කිසිවකුත් ශ‍්‍රී ලංකාව අස්ථාවර කරන, අරාජික කරන මෙවන් ‘වෙනසක්’ බලාපොරොත්තුවෙන් ‘ජනවාරි 08 වැනිදා’ සහ ‘අගෝස්තු 17 වැනිදා’ ඡන්දය භාවිතා නොකළ බවය. රට අගාධයට රැුගෙන යන, බෙදුම්වාදයට යළි පාර කැපෙන මෙවන් ‘වෙනසකට’ එරෙහිව සියලූ පටු වාද භේද දුරලා ලක් මාතාවගේ සුජාත දූ පුතුන් ලෙස නොපමාව නැගී සිටිය යුතු මොහොතක් උදාවි ඇති බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.“

Rate this item
(0 votes)