May 01, 2024

EPF 30% කඩිනමින් ලබා දෙන්නැයි කම්කරු ඇමතිගෙන් නිළධාරීන්ට උපදෙස්

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ගේ ගිණුමේ ශේෂයෙන් 30% ක් ලබාදීමේ වැඩපිළිවෙල වහාම කඩිනම් කරන ලෙස කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න මහතා එම අංශයේ නිලධාරීන්ට නියෝග කර ඇත.

අමාතවරයා එම නියෝගය කර ඇත්තේ සේවක අර්ථ සාධක අරමුදලේ 30% ලබාදීමේ වැඩපිලිවෙල නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය දා හදිසියේ එම අංශයට පැමිණි අවස්ථාවේදීය.

සේවක අර්ථසාධක අරමුදලෙන් 30% ක් ලබාගැනිම සදහා ඉල්ලුම්පත් 70,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබි තිබේ. එයින් 5,000කට ආසන්න ප්‍රමාණයකට මේ වනවිටත් එම මුදල් ලබාදීමට දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. කාර්යමණ්ඩල හිඟකමත් කාර්යාල ඉඩකඩ ප්‍රමාණවත් නොවිමත් යන කරුණු නිසා මෙම ක්‍රියාවලිය කිසියම් ප්‍රමාදයක් සිදුව ඇති බව නිළධාරීන් අමාත්‍යවරයාට එහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම අංශය සඳහා කළමණාකාර සහකාර නව පත්වීම්ලාභීන් 40ක් වහාම පුහුණු කර යෙදවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා මෙම ප්‍රතිලාභය ලබා ගැනීමට පැමිණෙන සේවා නියුක්තිකයන්ට ප්‍රමාදයකින් තොරව අවශ්‍ය සුදුසුකම් පරීක්ෂා කිරීම් කටයුතු සඳහා දැනට පවතින පරිගණක පද්ධතිය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය පරිගණක ඇතුළු අනිකුත් පහසුකම් කඩිනමින් සැපයීමටත් කටයුතු කරන ලෙස දැන්වීය.

එසේම නොයෙකුත් අක්‍රමිකතා සිදුවීම වළක්වා ගැනීම සඳහා දැනටමත් අයදුම්පත් එවා ඇති ඉල්ලුම්කරුවන්ට එහි දෙවන අදියරේ අයදුම්පත් කඩිනමින් ලබා දීමට ඇති හැකියාව පිළිබඳවද සොයා බලන ලෙස නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා, යම්කිසි ඉලක්කයක් අනුව වැඩ කිරීම තුළින් මාස දෙකක් තුළ පවතින මේ ප්‍රමාදය ක්‍රමානුකූලව අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා,සේවක අර්ථ සාධක අරමුදලේ කොමසාරිස් එස්.සී වැලිවත්ත මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 October 2015 09:46