May 01, 2024

මාධ්‍යවේදීන් සිය පෑන භාවිත කළ යුත්තේ විනිසුරුවරුන් ලෙසයි 

මාධ්‍යවේදීන් සිය පෑන භාවිත කළ යුත්තේ විනිසුරුවරුන් ලෙස බවත් ඔවුන්ට පෑන මෙහෙයවා විශාල වගකීමක් ඉටු කළ හැකි අතර ප්‍රබල වගකීමක් දෑතේ රැදී තිබෙන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර ‘කරුණු‘ මත සත්‍යය තොරතුරු සොයා සමාජ ප්‍රගමනයට කටයුතු කරන ලෙසත් එය ජනමාධ්‍යවේදීන්ගේ වගකීමක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව මහතා ප්‍රකාශ කරයි.

ලෝක සංඛ්‍යාන දිනය නිමිත්තෙන් ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය එක් ව සංවිධානය කළ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමින් ලේකම් වජිර නාරම්පනාව මහතා ඊයේ (16) මේ බව සඳහන් කළේ ය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2010 වර්ෂයේ දී ලෝක සංඛ්‍යාන දිනය ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව 2015 ජූනි මස රැස් වූ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් “නිවැරදි දත්තවලින් වඩා සරු දිවියක්“ යන තේමාව යටතේ සෑම වසර 05කටම වරක්ම ඔක්තෝබර් 20 වැනි දිනය ලෝක සංඛ්‍යාන දිනය ලෙස සැමරීමට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මාධ්‍ය කලාව යන දිශාව වෙනස් කර රටට අවශ්‍ය තොරතුරු සංඛ්‍යා ලේඛන ඵලදායී ලෙස ජනතාවට ප්‍රක්ෂේපණය කිරීමේ පරම වගකීම ජනමාධ්‍යවේදීන් සතුව පවතින බව වජිර නාරම්පනාව මහතා ප්‍රකාශ කළේ ය.

රටක සංවර්ධනයට, රටේ යහපාලනයට සහ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට සංඛ්‍යා ලේඛන කෙතරම් දුරට ඉවහල් වෙනවා ද යන කාරණය ඉතා වැදගත් බව ද සංවර්ධනයත් ජන ජීවිතය නඟා සිටුවීමත් දේශපාලන ස්ථාවරත්වයටත් යහපාලනය ස්ථාපනය කිරීමත් සඳහා වූ ක්‍රියාවලියේ දී සංඛ්‍යා ලේඛන කෙතරම් දුරට වැදගත් වෙනවා ද යන හේතුවෙන් ජනතාවට තොරතුරු ලබා දීමේ ක්‍රියාවලියේ දී ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය පිළිබඳ  අද මේ කරන සාකච්ඡාව ඉතා වැදගත් බවත් ඒ මහතා පැවසී ය.

තොරතුරු ලබා දීමේ දී සහ ජනතාව දැනුවත් කිරීමේ දී විශේෂයෙන්ම නිවැරදිව තොරතුරු ලබා දීමේ දී ජනමාධ්‍යවේදීන්ට විශාල කාර්යය භාරයක් තිබෙන බවත් මෙම කාර්යභාරය ඉටු කිරීමේ දී සංවර්ධන කාර්ය භාරය ඉටුවෙන බවත් එහි දී ජනමාධ්‍යවේදීන්ට මිල කළ නොහැකි කාර්යයත් තිබෙනවා යැයි ද ලේකම්වරයා අවධාරණය කළේ ය.

අද ඊසි ජර්නලිස්ම් (Easy Journalism) සහ ගොසිප් ජර්නලිස්ම් (Gossip Journalism) වලින් පත්තර පිටු පුරවලා තිබෙන හැටි දැකගත හැකි බව පැවසූ නාරම්පනාව මහතා ප්‍රකාශ කළේ විග්‍රහ කර ලියන පුවත්පත් අඩු බවත් මාධ්‍යවේදීන් ලෙස අද පෑන භාවිතා කරනුයේ හැඟීම්වලට ඉඩ දී බවත් වාර්තාකරණයේ දී Facts, Feelings, Faith (කරුණු, හැඟීම්, විශ්වාසය) යන කරුණු පිළබඳව අවධානය යොමු කළ යුතුම බවත් ඔහු පැහැදිලි කළේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 October 2015 11:31