May 04, 2024

එල්ටීටීඊ සැකකරුවන්ට ලබන මස 07 වැනිදාට පෙර නිදහස

බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දෙයි.

ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී එම ප්‍රතිඥාව දුන් බවයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සංදේශයට කියා සිටියේ.

අද, සිකුරාදා තමා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඔහු ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව දුරකථනයෙන් තමාත් අධිකරණ ඇමතිවරයාත් දෙදෙනාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතු බව සඳහන් කළ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, බරපතළ චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව පැවසුවේය.

මේ මස අවසන් වීමට පෙර සිරකරුවන් නිදහස් කිරීම ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

උපවාසයේ නිරතව සිටින සිරකරුවන් කිහිප දෙනකුට මෙම පණිවිඩය තමා දුරකථනයෙන් දැනුම් දුන් බව පැවසූ ඔහු, එම්.ඒ .සුමන්දිරන් මන්ත්‍රීවරයා මගින් එම තොරතුරු ඔවුන්ට ලබා දීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

| BBC

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 October 2015 11:09