May 08, 2024

කොටදෙනියාව පාසල් සිසුවාගේ පැමිණිල්ලට අධිකරණ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරයි  

කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි පාසල් සිසුවකු සහ එක්දරු පියෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන පහර දුන්නාදැයි පරීක්ෂණ පවත්වන ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රාහුල් හක් මහතාගේ ප්‍රකාශයක් අද (15) සටහන් කරගෙන තිබේ.

පැය 03 ක් පමණ ඒ මහතාගෙන් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොටදෙනියාව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන දින 12ක් බන්ධනාගාරගත ව සිට නිදහස ලැබූ පාසල් සිසුවා සහ කැළුම් අත්තනායක නමැති එක්දරු පියා කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය පැවැත් වේ.

ඔවුන් දෙදෙනා නිදහස ලැබීමෙන් අනතුරු ව ගම්පහ රෝහලට ඇතුළත් ව ප්‍රතිකාර ලබද් දී පොලීසියෙන් මුලින්ම ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ.

තමන් අත්අඩංගුවට ගෙන දින තුනක් පොලීසියේ රඳවා ගනිමින් පහර දුන් බව ඔවුන් පොලීසියට ප්‍රකාශ ලබා දී ඇත.

මේ වනවිට 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර ඔවුන් දෙදෙනා පොලිස් භාරයට ගන්නවා දුටු පිරිස් ද, ඔවුන් පොලිස් බාරයේ තබා ගත්තා යැයි කියන කාලයේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පිරිස් සහ එම කාලයේ රාජකාරි කළ පොලිස් නිලධාරීහු ද වෙති.

චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත්, අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොත්වල දැමූ සටහන් පරීක්ෂා කිරීමටත් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසී ය.

විමර්ශන අවසානයේ පරීක්ෂණ වාර්තාව පොලිස්පතිට ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම සඳහන් කළේ ය.

සිසුවා සම්බන්ධ වෛද්‍ය වාර්තා දෙක අනිවාර්යයෙන් වෙනස් විය යුතු බවත් හේතුව අවස්ථා දෙකක දී කරුණු දෙකක් සම්බන්ධව කළ පරීක්ෂණ වාර්තා නිසා බවත් මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.එන්. රාහුල් හක් මහතා පවසයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 October 2015 17:43