May 08, 2024

මිලියන 125ක අල්ලස් ගත් රේගු නිලධාරීන් තිදෙනෙකු කොටුවෙයි

රුපියල් මිලියන 125ක් අල්ලස් ලෙස ගත් බවට චෝදනා එල්ල වූ රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 1500ක් වටිනා භාණ්ඩ තොගයක් රේගු බදුවලින් තොරව මුදා හැරීම සඳහා එම අල්ලස් ලබා ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පැවසුවේය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නි‍යෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව වාර්තාවේ.

විදෙස් සමාගමකින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙන්වන ලද අමතර කොටස් තොගයක් මුදාහැරීමට විගණනයකින් පසු රුපියල් මිලියන 1500 ක මුදලක් ගෙවිය යුතු බවට මෙම රේගු නිලධාරීන් විසින් අදාළ සමාගමේ නියෝජිතයින්ට දැනුම්දී තිබේ.

එහෙත් එවැනි මුදලක් නීත්‍යානුකූලව ගෙවීමට නොමැති බව සමාගම් නියෝජිතයින් විසින් දැනුම්දුන් පසු අමතර කොටස් මුදාහැරීමට අල්ලසක් ලෙස රුපියල් මිලියන 500 ක් ඉල්ලා ඇති බව වාර්තාවේ.

ඉන්පසු එම නියෝජිතයින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සාකච්ඡා කොට එකී මුදලද රුපියල් මිලියන 125 ක් දක්වා අඩුකරගෙන ඇති බවත් ඒ අනුව අද (15) කොළඹ ස්ථානයකදී එම මුදල ලබාදීමට යැයි පවසා අල්ලස් කොමිසමේ නිලධාරීන් සමඟ ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවත් අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

 

Rate this item
(0 votes)