May 08, 2024

නීතියේ ප්‍රමාදය වැළක්වීමට තේරීම් කාරක සභාවක් 

වැඩිවෙමින් පවතින අපරාධ මැඩ පැවැත්වීම හා නීතිය ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන ප්‍රමාද වළක්වා ගැනීමේ අරමුණින් කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ වැඩි වෙමින් පවතින අපරාධ මැඩ පැවැත්වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම, මෙරට ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවට පත් වී ඇති බැවින්, ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඊට ප්‍රතිකර්ම යෙදීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී ඇති අතර මෙම කාරණාව පිළිබඳ සොයා බලා විමර්ශණය කර සුදුසු නිර්දේශයක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු යැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත යෝජනා කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඉකුත් කාල පරිච්ඡේදයේ දී සිදු වූ අපරාධවල ස්භාවය, එසේ අපරාධ සිදුවීමට බලපෑ කරුණු කාරණා, අපරාධ සිදුවීම අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන, සිවිල් සහ අපරාධ නඩුවල දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් හා අලුතින් පැනවීමට අවශ්‍ය සහ සංශෝධනයට ලක් කළ යුතු නීති රීති කුමක් ද යන්න හා ඉහත කරුණුවලට අනුශාංගික වන්නා වූ වෙනත් කාරණා සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කළ යුතු බව අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

එය මාස 06ක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන්කවර කාලසීමාවක් තුළ කාරකසභාවට සිය වාර්තාව ඉදිරිපත් කළ යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයාගේ අවධානයට යොමු කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

 

Rate this item
(0 votes)