May 08, 2024

උපවාසයේ නිරත රැඳවියන්ට වසර අවසානයට පෙර විසඳුම්

දැනට උපවාසයක් ආරම්භ කර තිබෙන බන්ධනාගාරගත එල්.ටී.ටී.ඊ සිරකරුවන්ගේ ඉල්ලීම් පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද(15) කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියේය. 

එහිදී ඔහු රැඳවියන් සමඟ සාකච්ඡා කර ඇති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රැඳවියන්ගේ ඉල්ලීම්වලට මෙම වසර ඇතුළත ප්‍රතිචාර දක්වන බවට පොරොන්දුවක් ලබාදුන් බවයි. 

ඒ අනුව උපවාසය අත්හරින ලෙස තමන් ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ බවද අධිකරණ අමාත්‍යවරයා පැවසී ය.

උපවාසයක් ආරම්භ කර තිබෙන බන්ධනාගාර සිරකරුවන් හමුවී ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කර විසදුමක් ලබාදිම සදහා ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ගිය අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, සොලිසිටර් ජනරාල් සුහද ගමලත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් රැදවියන් සමග සාකචිඡා කර ඇත.

රැදවියන් සමග සාකච්ඡා කළ අධිකරණ අමාත්‍යවරයා ඔවුන්ගේ නඩු කටයුතු කඩිනම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඉතා කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන බව ද සදහන් කළේය.

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇතුලූ ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් ආහාර වර්ජනය කරමින් ආරම්භ කර ඇති උපවාසය අද හතරවන දිනටත් ක්‍රියාත්මක කර තිබේ. කොළඹ - මැගසින්, අනුරාධපුරය, මඩකලපුව ඇතුලූ තවත් බන්ධනාගාර කිහිපයක සිටින දෙමළ රැඳවියන් 150 දෙනෙකු පමණ මෙලෙස උපවාසයේ නිරතවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 October 2015 14:39