May 09, 2024

කොළඹ කුරුඳුවත්ත අම්පාර නගරයට!

ඉදිරි දශක තුන තුළ අම්පාර වැව හා ආශ්‍රිත නාගරික කලාපය කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයට සමාන ප්‍රදේශයක් බවට පත් කිරීම තම අපේක්ෂාව බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියේ අම්පාර කාර්යාලයේ පැවති "අම්පාර නගර සැලසුම් ප්‍රගති සමාලෝචන රැස්වීමට" සහභාගී වෙමිනි.

ඒ අනුව ඉදිරි වසර පහ අවසන් වීමට පෙර අම්පාර නගරය නැගෙනහිර පළාතේ ප්‍රධානතම ආර්ථීක නගරය බවට ද ඉදිරි වසර දහය අවසන් වන විට අම්පාර නගරය, ලක්ෂයක් ජනතාවට ජීවත් විය හැකි නගරයක් බවට ද පත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

කෘෂි අපනයන බෝග වගාව දියුණු කරමින් එම ඉලක්කය වෙත ලඟා වීමට අපේක්ෂා කෙරේ. අම්පාර නගරයේ කෘෂිකාර්මික බෝග වගා කළ හැකි ඉඩම් සහ කලාප හඳුනාගෙන ඒවාහි අපනයනය කළ හැකි කෘෂි බෝග වගාව වැඩි දියුණු කිරීමට පියවර ගත යුතුව තිබේ. 

මේ අනුව, අම්පාර නගරය ආර්ථීක අධි කලාපයක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි ද තමාගේ අවධානය යොමු වී ඇති බව ද දයා ගමගේ මහතා පැවසී ය.

එසේම, අම්පාර ප්‍රදේශයේ වන ජීවී කලාප සහ දීඝවාපිය හා බුද්ධංගල වැනි ඓතිහාසික ස්ථාන මෙන්ම වනජීවීන් වැඩි වශයෙන් සිටින කලාපයක් ලෙස හඳුනාගෙන ඇති මහඔය ප්‍රදේශය ද සංචාරක ආකර්ෂණය වැඩිදියුණු වන පරිදි සංවර්ධනය කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, මේ හරහා ද දිස්ත්‍රික්කයේ ආර්ථීක සංවර්ධනයට ප්‍රතිලාභ ලබා ගත හැකි වනු ඇති බවයි.

මේ අතර, තේක්ක වගාව හා සමාන ආර්ථීකමය ප්‍රතිලාභ ලබා ගත හැකි 'කායා' වගාවන් ආරම්භ කිරීමට ද ජනතාව උනන්දු කිරීමට අපේක්ෂා කෙරේ.

දැනට අඩු පහසුමකම් සහිත ක්‍රීඩාංගනයක් වන එච්. එම්. වීරසිංහ ක්‍රීඩාංගණය කඩිනමින් සංවර්ධනය කිරීමට සැලසුම් කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)