May 02, 2024

'හයිකෝප්' නඩුවෙන් ධනුන නිදහස්

හයිකෝප් නම් සමාගමක් මගින් යුද හමුදාවට කොම්පාසු, විදුලි ජනන යන්ත්‍ර, බැටරි ආදිය සම්බන්ධයෙන් ටෙන්ඩර් වංචාවක් කළැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑණාවන ධනූන තිලකරත්නට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (15) නියෝග කළාය.

යුද හමුදාව සාක්කි දෙමින් කියා සිටියේ ධනූනගේ සමාගමෙන් ඉදිරිපත් කළ බව කියන ලියවිලි යුද හමුදා ඇස්තමේන්තු බවත් වංචාවක් සිදුවී නැති බවත්ය.

යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී හයිකෝප් සමාගම වෙනුවෙන් පෙනී සිට මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට ධනුන තිලකරත්න මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

අදාළ නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර තිලකරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දක්වමින් පවසා ඇත්තේ අදාළ උපකරණ මිලදී ගැනීමට මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ තම සේවාදායකයා නොවන බවයි.

එමෙන්ම අද නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ නීතිඥවරයා පවසා ඇත්තේ තමන් නඩු විභාගය අවසන් කරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය නඩුවේ තීන්දුව ලබාදෙමින් පවසා සිටියේ ධනුන තිලකරත්න මහතා නිදොස් කොට නිදහස් කරන බවයි.

 

Rate this item
(0 votes)