May 02, 2024

දෙමළ සන්ධාන නියෝජිතයෝ යාපනයේ උපවාසයක (PHOTOS)

දේශපාලන සිරකරුවන් වශයෙන් සිරගත ව සිටින දෙමළ සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් දෙමළ ජාතික සන්ධාන දේශපාලන නියෝජිතයින් පිරිසක් ඉකුත් 13 වැනි දා යාපනය නල්ලූර්, කෝවිල ආසන්නයේ උපවාසයක් ආරම්භ කරනු ලැබී ය.

දේශපාලන සිරකරුවන් වශයෙන් සිරගත ව සිටින පිරිසගේ ඥාතීන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඊ. සරවනබවන් මහතා, උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ. ශිවඥානම් මහතා ඇතුළු පළාත් සභා මන්තී‍්‍රවරුන් පිරිසක් උපවාසය වෙනුවෙන් සහභාගී වි සිටියහ.

දේශාපාලන සිරකරුවන් වශයෙන් සිරගත ව සිටින පිරිස වහාම නිදහස් කිරීමට වර්තමාන පාලකයින් කටයුතු කළ යුතු බව එම උපවාසයට සහභාගී වූ උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ. ශිවඥානම් මහතා සඳහන් කළේ ය.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා තමන් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කරමින් ලිඛිත ඉල්ලීමක් කළ බව ද හෙතෙම පැවසී ය.

දෙමළ දේශපාලන සිරකරුවන් ආහාර නොගෙන තමන්ට නිදහස ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ආරම්භ කොට ඇති උපවාසයට සහයෝගය දැක්වීම පිණිස ද තමන් ඇතුළු පිරිස උපවාසයක් ආරම්භ කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඊ.සරවනබවන් මහතා එහි දී ප්‍රකාශ කළේ ය.

දේශපාලන සිරකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති පිරිස්වල පවුල් මේ වනවිට දැඩි ලෙස අසරණ වී සිටින බවත් දේශපාලන සිරකරුවන් වශයෙන් සිටින පිරිස නිදහස් කිරීමට රජය කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසී ය.

විරෝධතාවය වෙනුවෙන් දේශපාලන සිරකරුවන් වශයෙන් සිරගතවූවන්ගේ ඥාතීන් ද සහභාගී වී තිබේ.

වන්නි රොමේෂ් මධුෂංඛ 

 

Rate this item
(0 votes)