May 03, 2024

‘ඇවන්ගාඩ්’ පරීක්ෂණ ඉවර නැහැ- ආරක්ෂක ලේකම්

රතු මුහුදේ සිට යාත්‍රා කරමින් පසුගියදා ගාලු වරායට ලඟා වූ නෞකාව සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් මේ වන විට ‘ඇවන්ගාඩ්’ සම්බන්ධයෙන් පරීක්ෂණ කීපයක්ම සිදු කෙරෙමින් ඇති බවයි.

ශ්‍රී ලංකාවෙන් අවසර ලබා නොගත් මුලින් කී නෞකාව බලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇත්තේ ගාලු වරායට ලං වීමෙන් අනතුරුව බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ.

‘අපි එම ඉල්ලීම අනුව අපේ අවසරය දුන්නා. මොකද? අපි විශ්වාස කරනවා නැව් ඒජන්තවරුන් සහ සමාගම් හරියාකාරව අදාළ කටයුතු කරනවා කියල’ ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි.

එහෙත් ගාලු වරායට ලං වූ නෞකාව බොහෝ නීති රීති කඩ කර ඇති බවයි ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තා දෙකක් ලබා දී ඇති බවත් ඔහු පවසයි.

අදාළ නඩු පැවරීම් සඳහා ගත යුතු පියවර පොලිසියට භාර දෙනු ලැබ ඇති බවත් ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියි.

ඒ අතරම නාවික හමුදාවත් වෙනම පරීක්ෂණයක් සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

‘ඇවන්ගාඩ්’ සම්බන්ධයෙන් පළමුවෙන් සිදු කෙරුණ පරීක්ෂණ අනුව නඩු පවරනු ලැබීමට තරම් සාක්ෂි නොමැති බවක් නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා නොවේදැයි බීබීසිය විමසූ විට ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියේ ‘එම විභාගයට ලක් කෙරුණ කාරණය පිළිබඳව එවැනි තත්වයක් පෙනී ගිය හෙයින් නීතිපතිවරයා එවැනි ප්‍රකාශයක් කළ’ බවයි.

එහෙත් ‘ඇවන්ගාඩ්’ සමාගමට සම්බන්ධ වෙනත් පරීක්ෂණ සිදු කෙරෙමින් ඇති බවයි ඔහු අවධාරණය කළේ.

‘ඒ වගේම ‘ඇවන්ගාඩ්’ සමාගමත් ‘රක්නා ලංකා’ සමාගමත් අතර ඇති කර ගෙන තිබෙන ගිවිසුම් පිළිබඳව ඉදිරි කටයුතු සඳහා ජනාධිපති විමර්ශන කොමිසමෙන් අපට මග පෙන්වීමක් හෝ නියෝගයක් ලැබේ යයි අපි බලාපොරොත්තු වෙනවා’ ආරක්ෂක ලේකම්වරයා පවසයි.

දැනට ගාලු වරායේ රඳවා ගෙන ඇති නෞකාවේ ආයුධ 813 ක් සහ ලක්ෂ දෙකකට අධික පතරොම් උණ්ඩ තොගයකුත් තිබුණ බවයි ඔහු සඳහන් කළේ.

| BBC

Rate this item
(0 votes)