May 02, 2024

මහින්ද අද දූෂණ විමර්ශන ජනපති කොමිසමට කැඳවයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී ස්‌වාධීන රූපවාහිනියේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්‍ෂ 1150 ක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ජනාධිපති දූෂණ විමර්ශන කොමිසම පවත්වන පරීක්‍ෂණයේ ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (15) සාක්‍ෂි ලබාදීමට එහි කැඳවා තිබේ.

මෙම සාක්‍ෂි විභාගය සඳහා හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්‌වැල්ල, ස්‌වාධීන රූපවාහිනියේ හිටපු සභාපති අනුර සිරිවර්ධන, සාමාන්‍යාධිකාරී අරුණ මූර්ති වික්‍රමසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී උපාලි රංජිත්, සහකාර කළමනාකරු දිලිප් වික්‍රමසිංහ යන මහත්වරුන්ද සහභාගිවීමට නියමිතය.

ජනාධිපතිවරණය සමයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු සඳහා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී ස්‌වාධීන රූපවාහිනියට අයවිය යුතු රුපියල් ලක්‍ෂ 1150 ක මුදල් ලබානොදීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්‌ ජනාධිපති විශේෂ කොමිසම මගින් පවත්වනු ලැබීය.

එම විමර්ශනයෙන් අනතුරුව ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය අද දින සිට දින 4 ක්‌ පුරා පැවැත්වේ.

Rate this item
(0 votes)