May 03, 2024

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් අතර සිටි ළමුන් ළමා නිවාස භාරයට  

තලෙයිමන්නාරම මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 24 දෙනා අතර සිටි ළමුන් තිදෙනෙකු එළැඹෙන 28 වැනි දා දක්වා මන්නාරම අන්නෛයි ළමා නිවාසයේ රඳවා තැබීමට මන්නාරම මහේස්ත‍්‍රාත් කේ. ඇලෙක්ස්රාජා මහතා ඊයේ (13) නියෝග කරනු ලැබී ය.

තලෙයිමන්නාරම මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටිය දි අත්අඩංගුවට ගත් ධීවරයින් 24 දෙනෙකු ඊයේ තලෙයිමන්නාරම නාවික හමුදා නිළධාරීන් විසින් ධීවර යාත‍්‍රා හතරක් සමග ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන මන්නාරම ධීවර පරික්ෂ නිලධාරීන් වෙතට භාර දී ඇත.

දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් ප‍්‍රදේශයේ සිට පැමිණි අදාළ ධීවර පිරිස අතර සිටි වයස අවුරුදු 17 ක් වූ ඇන්තනි රායප්පු රොනිශරන් සහ කැමිලස් බි‍්‍රට්ජෝයි නමැති ළමුන් දෙදෙනෙකු හා වයස අවුරුදු 14 ක් වු සගායරාජ් මරියරෙමිත් නමැති දරුවෙකු ද එලෙස ළමා නිවාස භාරයට පත් කිරීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.

අත්අඩංගුවට පත් අනෙකුත් ධීවරයින් පිරිස එළැඹෙන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මන්නාරම් මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

වන්නි රොමේෂ්  මධුෂංඛ 

 

Rate this item
(0 votes)