May 17, 2024

ඇමතිකම බාර ගත් හේතුව පාඨලී කියයි

කැපී පෙනෙන ලෙස සංවර්ධනය සිදු කළත් ඒ සංවර්ධනය පිටුපස දුෂණයන් වංචාවන් සිදුවෙන බව තේරුම් ගත් උගත් පිරිස සමඟ ජනතාව නැගී සිටි බවත්, තමන් හෝ නියෝජ්‍ය අමාත්‍යතුමා මේ අමාත්‍යාංශය බාරගත්තේ කොමිස් ගැනීමට නොව රට සංවර්ධනය කිරීමට බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව පැවසූයේ පසුගිය 12 වැනිදා රාජගිරිය ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා පරිශ‍්‍රයේ දී සංස්ථාවේ සමස්ත සේවක සේවිකාවන් පළමුවරට හමු වූ අවස්ථාවේදීයි. 

මෙහිදී අමාත්‍යවරයා නව රජයේ අරමුණු, සැලසුම් හා මූලික අභිලාශයන් පිළිබඳ සේවක සේවිකාවන් දැනුවත් කිරීම සිදු කළේය. 

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය,

“පසුගිය සමයේ විශාල සංවර්ධන වැඩකොටසක් කළ ආණ්ඩුව ගෙදර යැව්වා. කැපී පෙනෙන ලෙස සංවර්ධනය සිදු කළත් උගත් පිරිස කල්පනා කළා ඒ සංවර්ධනය පිටුපස දුෂණයන් වංචාවන් සිදුවෙන බව. එනිසා ජනතාව නැඟී සිටි බවත්, මම හෝ නියෝජ්‍ය අමාත්‍යතුමා මේ අමාත්‍යාංශය බාරගත්තේ කොමිස් ගැනීමට නෙවෙයි.  ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව භාණ්ඩාගාරයට ණය නැති ආයතනයක් කිරීම අපේ මූලික වගකීමයි. එය කරන්න අපි නිර්මාණශීලි විය යුතුයි. අලූත් අදහස් හා ආදායම උත්පාදනය කරගත යුතුයි.

මා විසින් මේ රටේ තිබෙන විශාල රාජ්‍ය ආයතන දෙක හැසිරෙව්වා. ඒ ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය. මේ ආයතන දෙකම දශක ගණනක්ම පාඩු වින්දා. අපට හැකිවුණා නැවත ශක්තිමත් ආයතන දෙකක් බවට පත්කරන්න. එනිසා මේ ආයතන සාපේක්‍ෂව කුඩා ආයතනයක් වුණත් බලවත් ආයතනයක් බවට පත් කරන්න කැපවිය යුතුයි.

ජනවාරි 08 මේ ජනාධිපතිතුමා පත්වෙන්නත් මේ අගමැතිතුමා පත්වෙන්නත් මූලික හේතුව වුණේ දුෂණය පිළිබඳ උගත් මිනිස්සු අතර කලකිරීමයි. පසුගිය කාලයේ විශාල සංවර්ධන වැඩසටහන් කළා. කැපී පෙනන වැඩ කොටසක් කළා. නගර අලංකරණය, දියවන්නාව සංවර්ධනය ඇතුළු කැපී පෙනෙන වැඩ කළත් ජනතාවගේ දැන උගත් පිරිස කල්පනා කළා ඒවා පිටුපස මහා දූෂණයක් හඹාගෙන එන බව. අපට නොපෙනන විශාල වංචාවක් සිදුවෙන බව. එනිසා ජනතාව නැගී සිට මහා සංවර්ධනයක් කළ ආණ්ඩුව මාරු කළා.

ලෝකයේ මේ වැනි දේවල් සිදුවුණා. ඉන්දියාවේත් මේ ටික වුණා. ඉතාම හොඳින් වර්ධනය වූ ආණ්ඩුව දුෂණ ප‍්‍රශ්න මත ඉවත් කරන්න ජනතාව පෙළඹුණා. දුෂණයට කිසිදු ඉඩක් අපේ පාලනයේ නැහැ. ඒ බව සියළු දෙනාම තරයේ සිතාගත යුතුයි. මම හෝ නියෝජ්‍ය අමාත්‍යතුමා, ලේකම්තුමා කොමිස් ගහන්න මේ අමාත්‍යාංශයට ආවේ නැහැ. අනුකම්පා විරහිතව දූෂණය මර්දනය කරනවා. මේ ආයතනයන් තුළ කි‍්‍රයාත්මක වුණොත්. ඒ සඳහා සියළු නිලධාරීන් සහයෝගය ලබාදිය යුතුයි.විදුලිබල මණ්ඩලයේ මම පසුගිය කාලයේ දැක්කා සමහර නිලධාරීන් විශාල මුදල් උපයාගත්තා. අද ජීවිතේම නැතිවෙලා. අපි බේරගන්න කියලා අයදිනවා.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)