May 17, 2024

දේශපාලන සිරකරුවන් තවමත් සත්‍යග්‍රහයේ - උතුරු මහ ඇමතිගෙන් ජනපතිට ලිපියක්

දෙමළ දේශපාලන සිරකරුවන් 223 දෙනෙකු ඔවුන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් දිවයිනේ පිහිටි බන්ධනාගාර කිහිපයක ඊයේ (12) සිට නිරාහාර ව සත්‍යග්‍රහයක් ආරම්භ තිබේ. 

මෙම සත්‍යග්‍රහය සඳහා අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 35 ක් ද මැග්සින් බන්ධනාගාරයේ සිරකරුවන් 160 ක් ද බෝගම්බර සිරකරුවන් 15 ක් ද යාපනයේ 03 ක් ද වැලිකඩ කාන්තා සිරකාරියන් 10 දෙනෙක් ද සහභාගී වී සිටින බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පවසයි.

සත්‍යග්‍රහයයේ නිරත ව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් බේරා ගැනීම පිණිස ඉතා කඩිනමින් කටයුතු කළ හැකි ආකාරය විස්තර කරමින් උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් 12 වැනි දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ වසර ගණනක සිට ඉතා දුක්ඛිත තත්ත්වයකින් කල් ගෙවන මෙම පිරිස නිදහස් කිරීමට වහාම පියවර ගතයුතු බවයි.

ප්‍රධාන කාරණා 07 ක් ඔස්සේ කරුණු ඉදිරිපත් කරන ප්‍රධාන අමාත්‍යවරයා මුලින්ම පවසන්නේ රඳවාගෙන සිටින පිරිස ඔවුන් විසින් සිදු කර ඇති චෝදනාවල ස්වභාවය මත ලැයිස්තුවක් සකස් කළයුතු බවයි. මේ කාරණාව ඉටු කිරීමට සතියක කාලයක් සෑහෙන බව ද ඔහුගේ ලිපියේ සඳහන් කර තිබේ.

ඉතාම සුලු වැරදි මත අත්අඩංගුවට ගෙන වසර ගණනාවක්ම රඳවා ගෙන සිටින සැකකරුවන් ඇප මත නිදහස් කර ඔවුන්ට එරෙහි යම් නඩු විභාගයක් ආරම්භ කරන ලෙස ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සුලු වැරදි කළ පිරිස ද ඇප මත නිදහස් කර පසුව නඩු ඇසීමේ ක්‍රමයක් ඇති කළ යුතු බවට ප්‍රධාන අමාත්‍යවරයා එමගින් යෝජනා කර ඇත.

අත්අඩංගුවේ පසුවන පිරිසට යම් චෝදනාවක් වේ නම් ඔවුන්ට චෝදනා පත්‍රයක් භාර දීමට ක්‍රියා කර එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කරන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබාදෙන මෙන් ද තමන් විසින් වරද පිළි ගැනීමේ චෝදනාවන් මත බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පෙන්වා දෙන ප්‍රධාන අමාත්‍යවරයා එම තත්ත්වය මත ඔවුන්ව ඉතා දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටීම ජාත්‍යන්තර මෙන් ම දේශීය අධිකරණ ක්‍රියාදාමයන්ට පටහැනි අතර ඉන් මානව හිමිකම් උල්ලංඝණයවන බව ද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

අධිකරණ සේවා කොමිසම මගින් විනිසුරුවරුන්ට විශේෂ බලතල ලබා දී මෙම දේශපාලන සිරකරුවන් විසින් සිදු කර  ඇති වරදවල් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් නඩු විමසා ඔවුන්ට දඬුවම් කිරීම හෝ නිදහස් කිරීම සිදු කරන මෙන් ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපිය මගින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

දිනසේන රතුගමගේ - වවුනියාව

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2015 15:50