May 03, 2024

ජිනීවා යෝජනාව ගැන මාධ්‍යයට වාරණයක් කරලා - විමල්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අමෙරිකාව විසින් ගෙන ආ යෝජනාව පිළිබඳව කතා කිරීමට මාධ්‍යයට වාරණයක් දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය. 

ඔහු මේ බව පැවසූවේ කොළඹදී අද (12) පැවැති මාධ්‍ය හමුවකදී ය. 

"අමෙරිකානු ජිනීවා යෝජනාව ගැන කතා කිරීම මාධ්‍යයට තහනම් කරලා තියෙන්නේ. ඒ හරහා මාධ්‍යයට වාරණයක් කරලා තියෙනවා. ආණ්ඩුව කරන්නේ හරි දෙයක් නම් විරුද්ධ මත වාරණය කිරීමේ අවස්ථාවක් නෑ."

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනන අහෝසිකළ හොත් ඒ යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන ත්‍රස්තවාදීන් නිදහස් වීමේ ඉඩකඩක් තිබෙන බවද ඔහු සඳහන් කළේය. 

මේ අතර එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මත වූ යෝජනාවේ සත්‍යය පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය මේ දක්වා කටයුතු කර නොමැති බවයි.

පසුගියදා ඇතිකරගනු ලැබූ ජිනීවා ගිවිසුමෙන් රටේ ජාතික නිදහස, ස්වාධීනත්වය හා ස්වෛරීයභාවය විනාශ කරන බවත් එපමණක් නොව එම ගිවිසුම රටේ ව්‍යවස්ථාවට පවා පටහැණි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල යන මහත්වරුන් ද එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)