May 04, 2024

ගාලූ වරායට පැමිණි ඇවන්ගාඩ් නෞකාවේ වාර්තාව ආරක්ෂක අමාත්‍යාංශයට 

තොරතුරු සඟවා අවි රැගෙන ගාලූ වරායට පැමිණි  ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව අද ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදී තිබේ. 

අද උදෑසන තමන් වෙත එම වාර්තාව ලැබුණු බවත් ඒ අනුව එහි ඇතුළත් කරුණු තුන්දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් හරහා පරීක්ෂණ සිදුකරන බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසී ය.

පසුගිය ඔක්තෝම්බර් මස 06 වනදා ගාලූ වරායට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ ශ්‍රී ලංකා ධජය ඔසවා තිබූ මෙම නෞකාව පිළිබඳව නාවික හමුදාවට සැක මතු වී තිබූ අතර ඒ අනුව නාවික හමුදා නිලධාරීන් පිරිසක් එම නැව වෙත ගොස් පරීක්ෂා කරනු ලැබීය. 

එහිදී නැවේ කපිතාන්වරයා තමන් ශ්‍රී ලාංකිකයෙකු බව ප්‍රකාශ කළද පසුව ඔහු යුක්රේන ජාතිකයෙකු බව අනාවරණය වී ඇත. එමෙන්ම රක්නා ලංකා සමාගමට භාරදීමට ආයුධ රැගෙන ආ බවටද නාවික හමුදා මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.   

ඇවන්ගාඩ් නෞකාව පසුගිය 05 වැනි දා ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණියේ, සුඩානයේ සිට ය.

එම්.වී.ඇවන්ගාඩ් නෞකාව තවදුරටත් ගාල්ල වරායට ඔබ්බෙන් මුහුදේ නැංගුරම්ලා තිබේ.

Rate this item
(1 Vote)