May 18, 2024

යහපාලන ආණ්ඩුවෙන් අන්තවාදයට යළි හිස එසවීමට ඉඩ නෑ - මනෝ ගනේෂන්  

යහපාලන ආණ්ඩුව යටතේ අන්තවාදයට යළි හිස එසවීමට ඉඩ නොතබන බව ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මුස්ලිම් ජාතිකයන් කණ්ඩායමකගේ තර්ජන හමුවේ මැද කොළඹ ප්‍රදේශයේ පසුගියදා පැවැත්වීමට නියමිතව තිබූ හින්දු ආගමික පෙරහැරක් නවතා දැමීමට සිදු වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

අන්තවාදය පතුරවා ජාතීන්, ආගම් අතර අසමගිය ගොඩනැගීමට වර්තමාන රජය ආශීර්වාද නොකරන බව අමාත්‍යවරයා පැවසීය.

''කෝවිලේ අයට තර්ජනය කරලත් තියනවා. සමහර අයට ගහලත් තියනවා. නමුත් මේක මුස්ලිම් ජනතාවගේ අන්තවාදය කියලා කියන්නේ නැහැ. වැඩි බහුතරයක් මුස්ලිම් ආගමික සහ දේශපාලන නායකයෝ මා එක්ක සම්බන්ධ වෙලා මේ හැසිරීම පිළිබඳ දැඩි විරෝධය කනගාටුව පළ කරලා තියනවා'' අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවත් අවශ්‍ය ආරක්ෂක පියවර සහ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

''හැම ආගමකම හැම ජාතියකම අන්තවාදීන් ඉන්නවනේ. එහෙම අය පහු කරලානේ අපි ඇවිල්ලා ඉන්නේ. මේ අන්තවාදීන් තමයි මේවා කරන්නේ. අන්තවාදීන් මෝඩයි'' අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් පැවසුවේය.

Rate this item
(0 votes)