May 18, 2024

ලෝක බැංකුවෙන් ලංකාවට දෙන ආධාර ඉහළට!

ශ්‍රී ලංකාව සඳහා ලබා දෙන මූල්‍ය ආධාර ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කළ සාකච්ඡාවකදී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මේ බව සඳහන් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පසුගිය 09 වැනිදා ආරම්භ වූ ලෝක බැංකු හා ජාත්‍යන්තර අරමුදලේ වාර්ෂික සමුළුවට පෙර එහි ප්‍රධානීන් සමග අමාත්‍යවරයා එම සාකච්ඡාව පවත්වා තිබේ.

එහිදී ලෝක බැංකු ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ඵලදායීතාව නැංවීම, අපනයන සංවර්ධනය, ව්‍යවසාය සංවර්ධනය, ව්‍යාපාරික පරිසරය හා ආයෝජන ප්‍රවර්ධන වැනි අංශ ශක්තිමත් කිරීම සඳහා සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍ය පහසුකම් සැපයීමට එකඟ වන බව ය.

ලෝක බැංකුව වාර්ෂිකව ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් දැනට ලබා දෙන මූල්‍යාධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 400කි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම සඳහා තාක්ෂණික සහය ලබා දීමට ද අපේක්ෂා කරන බව ය.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර අරමුදල අතර විශ්වාසය ශක්තිමත් වී ඇති බව ත් එය යහපත් ප්‍රවණතාවක් බව ලෝක බැංකු ප්‍රධානීහු සඳහන් කළහ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 October 2015 16:04