May 02, 2024

පරණගම, උදලාගම කොමිෂන් වාර්තා ප්‍ර‍සිද්ධ කරන මෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබද විමසීම සඳහා පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම සහ නිශ්ශංක උදලාගම කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත් කරන ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය ඉල්ලීමක් කරයි.  

ශ්‍රී ලංකා රජය ගෙවීගිය සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සැබෑ වගවීමේ වැඩපිළිවෙලකට ප්‍රවිශ්ඨවන්නේ නම්, එහි මුලික පියවර විය යුත්තේ ‘පරණගම සහ උදලාගම‘ කොමිෂන් සභා වාර්තා, අතුරු වාර්තා සියල්ල ප්‍ර‍සිද්ධියට පත් කිරීම බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විවෘත ආයාචනයක් යොමු කරන එම සංවිධාන පවසයි.

පරණගම සහ උදලාගම මහත්වරුන්ගේ සභාපතීත්වයෙන් යුතු ජනාධිපති කොමිෂන් සභා මානව හිමිකම් පිළිබඳ නීති මගින් කටයුතු කිරීමේ හෝ විමර්ශන ආරම්භ කිරීමේ පාදක ලියවිල්ල බවට පත් කර ගත හැකිය. 

ඝාතනයට ලක් වූ, අතුරුදන් කර වූ, කෘර වද හිංසාවන්නට ලක් වූ පිරිස් සහ ඔවුන්ගේ සමීපතමයින් විසින් ලබා දුන් තොරතුරු විධිමත් ලේඛණ ගතවීමක් කොමිෂන් සභාව තුළින් සිදුවීම එයට හේතුවයි.

මෙම කොමිෂන් සභා සහ එයට අනුබද්ධ ව සිදු වූ කටයුතු සහ නිර්දේශ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වෙත විවේචන පැවතිය හැකි ය.

වහා චෝදනා ගොනු කිරීම් සිදු කළ හැකි කරුණු සම්බන්ධයෙන් ද, විශේෂයෙන්ම මුලු ලෝකයේම අවධානය යොමු වී ඇති  ලක්ෂමන් කදිරගාමර් ඝාතනය,  ත්‍රිකුණාමලය මූතූර් ඝාතන,  පාසල් සිසුන් 05 දෙනාගේ ඝාතන, නිහාල් ජිම් බ්‍ර‍වුන් පියතුමාගේ අතුරුදන්වීම වැනි සිද්ධි 60 කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ නිශ්චිත කරුණු මෙම කොමිෂන් සභා හමුවේ ඉදිරිපත් වී ඇත. 

ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝණයක් පිළිබඳ අතිශෝක්තියට නගන ලද මතයන් 02 කි. පළමුවැන්න, කලින් පැවති රජයේ ‘කිසිදු මානව හිමිකමක් සිදු නොවුනේය‘ යන ස්ථාවරයයි. දෙවැන්න, යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වූ ඝාතනයන් සම්බන්ධයෙන්වන පරස්පර වූ වාර්තාවන් ය. ශ්‍රී ලංකාව තුළත් හා ජාත්‍යන්තර ප්‍ර‍ජාව තුළත් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ පරිමාව පිළිබඳ පොදු මතයක් ඇති කිරීම සඳහා ද මෙම කොමිෂන් සභා වාර්තා, අතුරු වාර්තා හේතුවනු ඇත. 

ශ්‍රී ලංකා රජය විසින් අවස්ථා ගණනාවක දී පරණගම සහ උදලාගම ජනාධිපති කොමිෂන් සභා වාර්තා 205 වසරේ සැප්තැම්බර් මස අවසානයට පෙර ප්‍ර‍සිද්ධියට පත් කරන බව ප්‍ර‍කාශ කර තිබුණි. එම පොරොන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට සුදුසුම අවස්ථාව පැමිණ තිබේ. 

රජය තවදුරටත් මෙම කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධ කිරීම අතපසු කරන්නේ නම් එයට එරෙහිව උතුරේ ද, දකුණේ ද සිවිල් සංවිධාන සහ පුරවැසියන් එක්විය යුතු බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩිව විශ්වාස කරයි.

 

 

Rate this item
(0 votes)