May 02, 2024

පියවරු ඉල්ලා ළමුන් පිරිසක් උද්ඝෝෂණයේ 

අදට (01) යෙදී ඇති ලෝක ළමා දිනය නිමිත්තෙන් යුද සමයේ දී සහ යුද්ධයෙන් පසුව විවිධ වූ ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාරගත ව සිටින දේශපාලනික සිරකරුවන් වූ තමන්ගේ පියවරුන් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා දේශපාලන සිරකරුවන්ගේ දරුවන් පිරිසක් යාපනය උද්ඝෝෂණ පෙළපාලියක නිරත වී තිබේ.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ආරම්භ වූ මෙම උද්ඝෝෂණ පෙළපාලිය අවසන් වූවේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිට දී ය.

පියා නොමැතිවීම හේතුවෙන් තමන්ගේ අධ්‍යාපනය සම්පූරණයෙන්ම බිඳ වැටී ඇති අතරම පවුල්වල ආර්ථික අගහිගකම් දරාගත නොහැකි බවත් තමන්ට පිය සෙනෙහස අවශ්‍ය බවත් එහි දී එම ළමුන් කියා සිටියේ ය.

අනතුරුව පාසල් ළමුන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට ලබා දුන්නේ අදාල සන්දේශය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවන ලෙසට ඉල්ලා සිටිමිනි.

එහි දී ප්‍රධාන අමාත්‍යවරයා විසින් කියා සිටියේ උතුරේ බොහෝ ළමුන් පිරිසකට මේ වනවිට පිය සෙනෙහස අහිමිවීම අභාග්‍යයක් බවත් දැනට ජීවත් සිටින පියවරුන් හෝ මෙම ළමුන් වෙතට ලබා දීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවටත් අදාල සන්දේශයන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවන බවටත් ය.

වන්නි රොමේෂ් මධුෂංඛ

 

 

Rate this item
(0 votes)