May 20, 2024

සත්‍යග්‍රහය අවසන් - දිවයිනට පැමිණි බ්‍රිගේඩියර් ආරක්ෂාව මැද පිටව යයි

September 15, 2015

වැලිවේරිය, රතුපස්වල කම්හලකින් වතුර අපවිත්‍රවන බව පවසමින් සිදු කළ උද්ඝෝෂණයකට වෙඩි තැබීමෙන් තරුණයන් තිදෙනකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට වගකිව යුතු බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා තුර්කියේ සිට අද (15) දිවයිනට පැමිණිය ද වැලිවේරිය ජනතාව මග හැර ඔහු වෙනත් මගකින් පිට වී ගිය බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කරයි.

වෙඩි තැබීමට අණ දුන් පුද්ගලයා ලෙස බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බල කරමින් තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි බුදු මැදුර ඉදිරිපිට අද පෙරවරුවේ උපවාසයක් ඇරඹී ය.

රතුපස්වල ජල ගැටළුවේ දී වැලිවේරියේ ගැමියන් කළ උද්ඝෝෂනයට යුද හමුදාව වෙඩි තැබීමෙන් පසු එයට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා තුර්කියේ තානාපති කාර්යාලයේ පත්වීමක් ලැබ මෙරටින් පිට ව ගියේ ය. එම කාලය අවසන්වීමෙන් අනතුරු ව ඔහු අද ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා උපවාස කළ තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට දුරකතන ඇමතුමක් ගෙන කීවේ තමා මේ පිළිබඳ පොලිස්පති සමග සාකච්ඡා කළ බවයි. ඒ සම්බම්ධයෙන් හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස්පති පොරොන්දු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ. තමා පෞද්ගලිකවම ද මේ පිළිබඳ සොයා බලන බව ඔහු පවසා ඇත.

ඒ අනුව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ සිය සත්‍යග්‍රහය අවසන් කළ අතර බ්‍රිගේඩියර්වරයා ආරක්ෂාව සහිතව ගුවන්තොටුපොළෙන් පිටත් කර යැවීමට ආරක්ෂක අංශ විසින් කටයුතු කර තිබේ.

ගුවන්තොටුපොළ - ටී.කේ.ජී. කපිල 

Rate this item
(1 Vote)