May 09, 2024

අගමැති රනිල් අද ඉන්දියාවට

September 14, 2015

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක්‌ සඳහා අද (14) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි, විදේශ ඇමැතිනී සුෂ්මා ස්‌වරාඡ් යන මහත්ම මහත්මීන් ඇතුළු ඉන්දීය ජ්‍යෙෂ්ඨ නායකයන් සමග වික්‍රමසිංහ මහතා මෙහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය ශක්‌තිමත් කරමින්, කලාපීය සාමය හා සංහිඳියාව තහවුරු කරලීම පිළිබඳව මේ සංචාරයේදී අවධානය යොමුකිරීමට දෙරටේ නායකයෝ අපේක්‍ෂා කරති.

අග්‍රාමාත්‍යවරයා ලෙස වික්‍රමසිංහ මහතා සහභාගි වන මුල්ම නිල විදේශ සංචාරය මෙය වන අතර, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද ඊට එක්‌ වන්නීය.

අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව මුලින්ම ඉන්දියාවේ සංචාරය කිරීම වික්‍රමසිංහ මහතා සෑමවිටම අනුගමනය කළ පිළිවෙතකි.

විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික්‌ සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි, ඉන්දීය නව ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ලෙස පත්කිරීමට නියමිත ඇසළ වීරකෝන් යන මහත්වරු මේ සංචාරයට සහභාගි වෙති. 

 

Rate this item
(0 votes)