May 09, 2024

පළාත් පාලන ඡන්දයේදී මෛත්‍රී - මහින්ද එකම වේදිකාවකට 

September 14, 2015

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා එකම වේදිකාවක සිට ශ්‍රීලනිප ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ සටන මෙහෙයවන බව ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි. 

ඒ සම්බන්ධයෙන් මේ වනවිට දෙදෙනා අතර එකඟතාවක්‌ ඇති කරගෙන තිබෙන බව ද ලේකම්වරයා කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මධ්‍යම ආණ්‌ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පෙරේදා (11) පැවති මහනුවර දිස්‌ත්‍රික්‌කයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිත හමුවකදීය. 

මාධ්‍යවේදීන්ට විවෘත නොවූ මෙම හමුව උණුසුම් තත්ත්වයක්‌ ගෙන තිබිණි. පළාත් පාලන ආයතනවල සාමාජිකයන්ට ඔවුන්ගේ අදහස්‌ දක්‌වන්නට ලැබුණු අවස්‌ථාවේදී වත්මන් ජනාධිපති එජාප සමුළුවේදී කළ කතාවත් පසුගිය මැතිවරණය ආසන්නයේදී ක්‍රියා කළ ආකාරයත් දැඩි විවේචනයට ලක්‌විය. ඇතැම් ආසන සංවිධායකයන් මෙහිදී ඉල්ලා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයත් පරණ ක්‍රමයට (මනාප ක්‍රමයට) පවත්වන ලෙසය.

අවසානයේදී නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු හා විරෝධතාවන්ට පිළිතුරු දුන් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මෙසේ ද කීවේය.

"අපේ පක්‍ෂය ඉදිරියට යන්න නම් මෙවැනි අවංක විවේචන යෝජනා තිබෙන්නට ඕනේ. පක්‍ෂයට දරදිය ඇදපු අයට තමන් දකින දේ කියන්න නිදහසක්‌ තියෙන්න ඕනේ. නමුත් මේ නිදහස එදා පක්‍ෂය තුළ තිබුණෙ නෑ. මේ පක්‍ෂය කාගේවත් පක්‍ෂයක්‌ නොවෙයි. මේක ජනතාවගේ පක්‍ෂයක්‌. ඒකේ නායකයෝ කරන හරි වැරදි ගැන කතා කරන්න ජනතාවට නිදහස තියෙන්න ඕනේ. අද ඒ නිදහස ලැබී තියෙනවා. පක්‍ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අද ඕනෑවටත් වැඩියෙන් තියෙනවා. නමුත් අපි දේශපාලනයේදී හදවතට මුල් තැන නොදී මොළෙන් වැඩ කරන්න ඕනේ."

මෙම හමුව සඳහා දි. මු. ජයරත්න, කෙහෙලිය රඹුක්‌වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ආචාර්ය සරත් අමුණුගම, එස්‌. බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, දිලුම් අමුණුගම යන මහත්වරු ශ්‍රීලනිප ආසන සංවිධායකයන් ලෙස සහභාගි වී සිටියහ.

 

 

Rate this item
(0 votes)