May 09, 2024

'පවුල් ආණ්ඩුව' වෙනුවට 'හවුල් ආණ්ඩුවක්' - රාජපක්‍ෂ පාලනයට එහා ගිහින් ජවිපෙ කියයි

September 13, 2015

පසුගිය සමයේ තිබුණු ‘පවුල් ආණ්ඩුව’ වෙනුවට දැන් ‘හවුල් ආණ්ඩුවක්’ ඇති කර ගෙන ඇති බවත් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් විශාල ප‍්‍රමාණයක් පත්කර ඒ ඇමති මණ්ඩලයේ බර ජනතාව මත පටවා ඇති බවත් ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි

ඔහු මේ බව පැවසූවේ අද (13) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද පැවසී ය.

“මේ වනවිට වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම පිළිබඳව රට තුළ විශාල කතාබහක් මතුවෙලා තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණය කාලයේදී මෛතී‍්‍ර පාලනයක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා කරන බවත් ඇමති මණ්ඩලය විද්‍යාත්මක පදනමක් මත පත්කරන බවටත් වගන්තියක් ඇතුළත් කර තිබුණා. ඒ විතරක් නෙවෙයි, පසුගිය දින 100 ආණ්ඩුව කාලයේදී ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී දින 3ක වැඩමුළුවක්ද මේ සම්බන්ධයෙන් පැවැත්වුවා. එහිදී විද්වතුන් පිරිසක් විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියා, විද්‍යාත්මක පදනමක් මත සහ සාධාරණ මට්ටමින් ඇමතිවරු පත්කිරීමේදී ඇමතිවරු ගණන 35කට සීමා කළ යුතුයි කියලා. නමුත් වර්තමාන ආණ්ඩුව ඉතාම ලැජ්ජාසහගත විදියට ඇමති ධුර සංඛ්‍යාව විශාල ලෙස වැඩිකරගෙන තිබෙනවා. පසුගිය සමයේ තිබුණු ‘පවුල් ආණ්ඩුව’ වෙනුවට දැන් ‘හවුල් ආණ්ඩුවක්’ හදලා ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් විශාල ප‍්‍රමාණයක් පත්කරලා ඒ ඇමති මණ්ඩලයේ බර ජනතාව මත පටවලා තිබෙනවා. “

“පහුගිය රාජපක්‍ෂ පාලනයට තිබුණු බරපතලම විවේචනයක් වුණේ ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය පත්කරගෙන තිබෙනවා කියලා. එදා ඇමති මණ්ඩලය 106යි. රාජපක්‍ෂ පාලනය පරාජයට පත්කළේ ඒ දේවල් වෙනස් කිරීම සඳහායි. නමුත් දැන් රාජපක්‍ෂ පාලනයට එහා ගිහින් ඇමති මණ්ඩලය වැඩිකරගෙන තිබෙනවා. මේ වනවිට ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු 93ක් පත්කරගෙන තිබෙන අතර තවත් දිස්ති‍්‍රක් ඇමතිවරුන් 22ක් පත්කරන්න ආණ්ඩුව සැලසුම්කරලා තිබෙනවා. එවිට ඇමති මණ්ඩලය 115ක් වෙනවා. ඇත්ත යහපාලනය මේකද? ඇමති මණ්ඩලය පත්කිරීමේදී විද්‍යාත්මක පදනමක් මත සාධාරණව පත්කරන්න  ඕනෑ තරම් අවස්ථාව තිබුණා.  එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවකට යන බව මැතිවරණයේදී කිව්වේ නැහැ. නමුත් මැතිවරණයෙන් පස්සේ ජනවරමට පයින් ගහලා හවුල් ආණ්ඩුවකට ඇතුල් වුණා. ඉන් පසුව පහුගිය කාලයේ එතනෝල් ගනුදෙණු පිළිබඳව, සමාජ විරෝධී කි‍්‍රයාවන් පිළිබඳව විශාල ලෙස චෝදනා එල්ල වෙලා තිබුණු දේශපාලකයින්ට ඇමතිධුර ලබාදුන්නා. මහින්ද අගමැති කිරීම සඳහා මහින්ද එක්ක මැතිවරණ කටයුතුවල යෙදුණු පුද්ගලයින් කිසිදු විළිලැජ්ජාවක් නැතිව ඇමතිධුර ලබාගෙන තිබෙනවා. ‘මහින්ද සමඟ නැගිටිමු රනිල් සමඟ වැජඹෙමු’ ඒ පුද්ගලයන්ගේ අලූත්ම සටන් පාඨය බවට පත්වෙලා. දැන් ඔවුන් තමන් ඇමතිකම් ගත්ත එක සාධාරණීකරණය කරන්න විවිධ කතා කියමින් ඔවුන් ජනතාවට විහිළු සපයනවා.“ ඔහු පෙන්වා දුන්නේය.

“එක පැත්තකින් රටට මහා බරක් වුණු ඇමති මණ්ඩයක් හදනවා. අනෙක් පැත්තෙන් හවුල් ආණ්ඩුවක් හදාගෙන දූෂිතයින්ගේ චෝදනා යට ගහනවා. මෙසේ සිදුවෙද්දී රටේ ජනතාවගේ ප‍්‍රශ්න ඉබාගාතේ යනවා. මේ වන විට වී ගොවියට වී විකුණා ගන්න බැරි ප‍්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. ඇමතිවරු තමන්ගේ විෂයන්  බෙදාගන්න පොරකද්දී ගොවීන් මහ පාරට වැටිලා. අපේ රටේ යළ කන්නයේ මෙ.ටොන් තිස් ලක්‍ෂයක්, මහ කන්නයේ තිස්පන් ලක්‍ෂයක් වී අස්වැන්න ලැබෙනවා. මේ වී ටික මිලදීගන්න කිසිදු ආණ්ඩුවකට සැළසුමක් තිබුණේ නැහැ. ඒ නිසා පුද්ගලික වෙළෙන්දන්ට ඉල්ලමක් පෑදිලා තිබෙනවා ගොවීන්ට තුට්ටු දෙකට තමන්ගේ වී ටික විකුණන්න වෙලා. වී කිලෝවකට නිෂ්පාදන වියදම රු. 33.20ක් වැයකරලා රුපියල් 27ට, 28ට වී කිලෝව විකුණන්න සිදුවෙලා තිබෙනවා. ආණ්ඩුව ගන්නේ එක ගොවියෙකුගෙන් වී කිලෝ 2,000ක් පමණයි. අනෙක් වී ටිකට ගොවීන් මොකද කරන්නේ? මේ ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුවට ඇලඩින්ගේ පුදුම පහන  ඕනෑ වෙන්නේ නැහැ. ති‍්‍රවිධ හමුදාවට, පොලීසියට, රටේ රෝහල් ටිකට අවශ්‍ය සහල් ටික ලබාදෙන්න රටේ වී අස්වැන්නෙන් පුළුවන්කම තිබෙනවා. ඒකට වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. ඒ ආයතනවලට සහල් ටික දෙන්නේ පිටරටින් ආනයනය කරලා. රටේ වී අස්වැන්නක් තිබියදී කොමිස් ගහගන්න පිටරටින් හාල් ගෙන්වන තත්වයට පත් වෙලා. ජනවාරි සිට දැන් මාස 9ක් ගතවෙලා තිබෙනවා. අලූත් ඇමතිවරු පත්වුණා කියලා ආණ්ඩවුට මේ ප‍්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. “ යැයි විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසී ය.

 

 

Rate this item
(0 votes)