May 10, 2024

කොටදෙණියාවේදී අතුරුදන් වූ දැරිය ගැන තවම තොරතුරක් නෑ - පොලිස් පරීක්ෂණ අරඹයි (VIDEO)

දිවුලපිටිය, කොටදෙණියාව ප්‍රදේශයේ දැරියක අතුරුදන්වීම පිළිබඳව පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසූවේ දැරිය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවත්ය.

2010 වස‍රේ සැප්තැම්බර් මස 16 වන දා උපන් සේයා සඳෙව්මි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයා වන අතර මීගමුව කොටදෙණියාව පාරේ බඩල්ගම, අකරංගහ, වැලිපාරේ ඇගේ නිවස පිහිටා තිබේ.

මව, පියා ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනා සමග දිවි ගෙවන සදෙව්මි පෙර පාසල් සිසුවියකි. ඉංග්‍රීසි ගුරුවරයෙකු වන ඇගේ පියා පෞද්ගලික ප්‍රවාහන සේවයක් ද පවත්වාගෙන යන බව පොලීසිය පැවසී ය.

ඊයේ රාත්‍රියේ මේ දැරිය සිය ස‍හෝදරයින් සමග රූපවාහිනිය නරඹා රාත්‍රී 8.30ට පමණ නින්දට ගොස් තිබේ. දැරිය නින්දට යන විට ඇගේ පියා නිවසේ නොසිටි අතර මුත්තණුවන් හා මිත්තණිය අවමංගල්‍යයකට සහභාගී වී ආපසු පැමිණෙන විට රාත්‍රී 10.10 පමණ වී තිබේ.

ඒ වන විටත් නිවසේ ප්‍රධාන පිවිසුම් දොර යතුරු නොදමා තිබූ අතර ඔවුන් නිවසට ඇතුළු වූ පසුත් ඇගේ පියා පැමිණෙන තෙක් දොරගුරු නොදැමූ බව සඳෙව්මිගේ මුත්තණුවන් පැවසී ය.

පසුදා උදෑසන නිවැසියන් සදෙව්මි සෙවීමේදී ඇය නිවසේ ‍නොමැති බව තහවුරු වී තිබේ. 

ඇය නිදා සිටි කාමර‍යේ විවර කර තිබූ ජනේලයක් පරීක්ෂණ කටයුතුවලදී පොලීසියේ දැඩි අවධානයට ලක්විණි. ඇගේ ඇඳ පිහිටා තිබූ බිත්තියේ ඉහළින් පිහිටා ඇති ජනෙල් තුනෙන් එම ජනේලයේ පමණක් යකඩ ආවරණයක් යොදා නොමැත.

සදෙව්මි එම ජනේලය අසල නිදා සිටි බව ඇගේ මව තහවුරු කළා ය. ඇය පවසන්නේ, එම ජනේලය වැසීම පිළිබඳව සාමාන්‍යයෙන් වැඩි අවධානයක් ‍යොමු ‍නොකරන බව ය. 

දැරිය ඊයේ රාත්‍රීයේ ඇඳ සිටි ඇඳුම ද උදෑසන වන තෙක් ඇඳ මත තිබූ බව පොලීසිය පවසයි.

සිද්ධිය වාර්තාවීමත් සමග පරීක්ෂණ ඇරඹූ පොලීසිය නිල සුනඛයින්ගේ සහය ද ලබා ගත්තේ ය. එහෙත් සුනඛයා නිවසේ සිට මීටර 100ක් පමණ ඉදිරිටත් තව ත් මීටර 100ක් පමණ පසු පසටත් ගොස් නතර වී තිබිණි.

පසුව පොලිස් නිලධාරීන් නිවස අවට ප්‍රදේශය දැඩි සෝදිසියකට ලක් කළත් කිසිදු තොරතුරක් නොලැබුණේ ය.

තවත් දින 04කින් සිය 5 වන උපන් දිනය සැමරීමට මග බලා සිටි ස‍ඳෙව්මි එනතුරු අද මවත් පියාත් මග බලා සිටිති.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)