May 09, 2024

'ලුම්බිණි වන්දනාව ඉක්මණින් යථා තත්වයට පත් වේවි' - ලුම්බිණි විහාරාධිපති

September 13, 2015

නේපාලයේ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය තවත් දින දෙකක් තුනක් ඇතුළත නිරාකරණය වී රටට සාමය උදා වීමෙන් විදේශීය බෞද්ධ වන්දනාකරුවන්ට කරදරයකින් තොරව ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණිය හැකි වාතාවරණයක් උදා විය හැකි බව ලුම්බිණී මහාබෝධි විහාරාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ පවසති.

පසුගියදා නේපාල භූමියේ ඇති වූ නොසංසුන්භාවය රටේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නයක් යයි සඳහන් කළ හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කිරීම තුලින් මතු වූ තත්වයක් බවයි සඳහන් කළේ.

උද්ගත වූ සංසුන්භාවය අවි ගැටුමක් නොව එය මහජන උද්ඝෝෂණයක් සහ විරෝධතා ව්‍යාපාරයක් හැටියට හඳුන්වා දුන් හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ වෙළෙඳසැල් වසා දැමීම් මහාමාර්ග හරස් කොට රථ වාහන ආදියට අවහිර කිරීම් ආදිය වාර්තා වූ බවත් සඳහන් කළහ.

එම වාතාවරණය ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන්ටත් බලපෑ ආකාරය පිළිබඳව විස්තර කළ සද්ධාතිස්ස හිමියෝ, පසුගිය මාසය පුරා ඔවුන් කිසිදු ගැටලුවකින් තොරව වන්දනා කටයුතුවල නිරත වූ බවත් එහෙත් පෙරේදා (10) ශ්‍රී ලංකා වන්දනාකරුවන් කණ්ඩායමකට ලුම්බිණිය වැඳ පුදා ගනු ලැබීමෙන් අනතුරුව ඔවුන්ට ආපසු ඉන්දීය දේශ සීමාව කරා යාමට නොහැකි වූ බවයි ප්‍රකාශ කළේ.

ඊට හේතු වුනේ ගස් කපා පාර හරහා දමමින් දියත් කෙරුණ විරෝධතා ව්‍යාපාරයක් බවත් හකුරුගම්මන හිමියෝ පවසති.

නේපාල පොලිසිය පැය කීපයක් ඇතුළත පාර යළි යථා තත්වයට පත් කළ අතර වන්දනාකරුවන් නිරුපද්‍රිතව ඉන්දියාව බලා ගිය බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ඊළඟ දින දෙකේත් (11 සහ 12) පාර හරස් කෙරුණ හෙයින් වන්දනාකරුවන්ට ලුම්බිණියට ඒමට නොහැකි වූ බව කියා සිටි ඒ හිමියෝ නේපාල ආණ්ඩුව ඉක්මනින් තත්වය නිරාකරණය කොට වන්දනාකරුවන්ගේ ගමන් බිමන් යාමට සුදුසු පරිසරයක් උදා කරනු ඇති බවට විශ්වාසය පළ කළහ.

නේපාලයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා පසුගියදා ප්‍රකාශයක් කරමින් නැවත දැනුම් දෙන තුරු ලුම්බිණි වන්දනාවට පැමිණීමෙන් වලකින ලෙස දැනුම් දීමක් කර තිබුණි.

| BBC

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 September 2015 08:00