May 03, 2024

ලංකාව තුළ වසරකට හස්ති ඝාතන 175ක්!

September 09, 2015

ආගමික වත්පිළිවෙත්, චිත්‍රපට, විවිධ ක්‍රියාකාරකම් ඇතුළු නොයෙක් කටයුතු සඳහා ද යොදා ගනිමින් කාලාන්තරයක් මුළුල්ලේ ලාංකීය සංස්කෘතියට බද්ධව සිටි අලියා සහ මිනිසා අතර සම්බන්ධතාවය දුරස් වී ජීවිත විනාශ වීමේ අවදානමක් මතු වී තිබේ.

සංවර්ධන කටයුතුවලට සහ නීති විරෝධීව සිදුවන වන සංහාරය අලි මිනිස් ගැටුම ඉතා උග්‍ර තත්වයට පත් වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ස්වාභාවික සංචරණ භූමි අහිමි වීමත් ඔවුන් එක් ප්‍රදේශයකට කොටු වීමත් යන කාරණා පදනම් කරගෙන වන අලින් නිරන්තරයෙන් ගම් වැදීම් සිදු වන බවයි, ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙන්නේ.

ඔහු මේ පිළිබඳව අදහස් දැක්වූයේ "දැනට වසරකට වන අලින් 250 ක් පමණ ලංකාවේ මිය යනවා. ඒ අතරින් මිනිස් ක්‍රියා කාරකම් නිසා වන අලින් 175 ක් පමණ මිය යනවා. ඒ වගේම වන අලින් පහරදීමෙන් මිනිස් ජිවිත 70 ක් 80 ක් පමණ අහිමි වෙනවා." යනුවෙනි.


ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම උග්‍ර ලෙසින්ම පවතින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ය. මඩකලපුව දිස්ත්‍රික්කයට දෙවැනි ස්ථානය හිමි වන අතර, මින්නේරිය වැනි ප්‍රදේශවලද ගැටුම බහුලව පවතී.

"යුද්ධයෙන් පස්සේ නැගෙනහිර ප්‍රදේශ තුළ ජනතාව පදිංචි කිරීමත් සමග අලි මිනිස් ගැටුම වැඩි වෙමින් පවතිනවා. මොකද කාලයක් එම ප්‍රදේශ අලින්ගේ වාසස්ථාන වී තිබුනා. මේකට ප්‍රධානතම හේතුවක් තමයි මිනිසුන් අලින්ගේ වාසස්ථාන ආක්‍රමණය කිරීම." පශු වෛද්‍ය විජිත පෙරේරා තවදුරටත් එසේ පැවසීය.

අලීන්ගේ ජීවන රටාවට සරිලන වනාන්තර තිබිය යුතුය. එපමණකින්ද මෙම අලි මිනිස් ගැටුමට පිළියම් සෙවිය නොහැක.

ගව කර්මාන්තය වෙනුවෙන් වන අලින්ට හිමි කැලෑ ප්‍රදේශ තුලට ගවයින් ඇතුළු කිරීම තුලින් වන අලින් බුදින තෘණ ගවයින් කෑම එක ප්‍රධාන ගැටලුවක්. වන අලියා යනු ඉඳුල් නොකරන ලද තෘණ ගන්නා සතෙක් බැවින් ගවයින් බුදින තණකොළ කෑමට අලින්ගේ කැමත්ත්කන් නැත.

පටු කැලෑ ප්‍රදේශයක් තුල ඔවුනට අවශ්‍ය තරම් ආහාර නොලැබීම නිසා ගම් වල සීමාවට පැමිණෙන අලියාට ගමේදී අවශ්‍ය රස මුසු හමු වේ.

ඒ ගොවියාගේ ගොවි බිම්ය. ඇබ්බැහිවීම් වලට කැමති අලියා ඔවුනට පුරුදු ආහාර සොයා නිතර ගම් වදින්නේ එබැවිනි.

පෙරහැරේ යන අලියා පාවඩය දමන තුරු අඩිය නොතියා සිටිනා සේම දිවට දැනෙන රසයටද පුරුදු වීම ඔවුන්ගේ සිරිතයි.

වන අලි පිරිමි සතෙකු වයස අවුරුදු 12-13 අතර කාලය තුල වැඩි වියට පත්වීමෙන් පසු පිරිමි සතුන් රංචුවෙන් පන්නා දමයි. එහිදී සංසර්ග කටයුතු සඳහා වෙනත් රංචුවක සහකාරියක් සොයාගත යුතුය. තනි අලින් ලෙසින් බොහෝ විට ගම වදින්නේ මෙසේ රැලෙන් පන්නා දමා ඇති පිරිමි සතුන්ය.

මඳ කිපෙන සමය ලෙස ගැමියන් හඳුන්වන කාලය තුල වන අලියාට සහකාරිය සොයාගත නොහැකි වුන විට දී වන අලියා තුලින් දරුණු ගති ලක්ෂණ දැකිය හැකි වේ.

බලධාරීන් විවිධ අවස්ථා වලදී මේ ගැටුමට පිළිතුරු සෙවීමට කටයුතු කළ නමුත් වන අලින්ට ආවේණික පුරුදු කෙරෙහි නිසි අවධානයක් අවබෝධයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් අලින්ගෙන් වගාවන්ට සිදු වන හානිය දිනෙන් දින උග්‍රවෙමින් පවතී.

වෙනත් වනෝද්‍යාන වලට හා කැලෑ ප්‍රදේශයන්ට සංක්‍රමණය වීම සඳහා අලින්ට නියමිත අයුරින් අලිමංකඩවල් ඇතුළු විධිවිධාන සකස් කිරීමත් අලි මිනිස් ගැටුමට පිළියම් යෙදීමේදී අවධානයට ලක් විය යුතු කරුණුය.

| BBC

Rate this item
(0 votes)