May 17, 2024

වව්නියාවේ සුළු සේවකයින් වර්ජනයක 

September 07, 2015

වසර 22 ක් තිස්සේ රජය විසින් වැඩි කළ වැටුප් තමන්ගේ මාසික වැටුපට නොලැබුණු බැවින් එයට විරෝධය පා වැඩි වූ වැටුප් වහාම ලබා දෙන ලෙස ඉල්ලමින් වව්නියාව නගර සභාවේ සුළු සේවකයින් සියලු දෙනා සිය රාජකාරි කටයුතුවලින් ඉවත් ව අද (07) පෙරවරුවේ වර්ජනයක නිරත විය.

1993 වසරේ සිට වව්නියාව නගර සභාවේ සේවය කළ ද මෙතෙක් රජය විසින් වැඩි කළ කිසිදු වැටුප් වැඩි කිරීමක්  තමන්ට නොලැබුණු බවත් මේ වනවිට එසේ වැඩි කළ වැටුප් මුදල් වශයෙන් රුපියල් 2100 ක මුදලක් තමන්ගේ මාසික වැටුපට ලැබිය යුතු වුවත් මෙතෙක් කිසිදු සේවකයෙකුට එම මුදල නොලැබීම හේතුවෙන් නගර සභා වැටුප් අංශයට විරෝධය පාමින් මෙසේ වැඩ වර්ජනය ආරම්භ කළ බව වැඩ වර්ජනයේ නිරත නගරසභා සුළු සේවකයින් කියා සිටියේ ය.

එමෙන්ම තමන්ගේ වැටුපට වැඩි වූ මුදල් ලබා දීමට බලධාරින් ක්‍රියා නොකරන්නේ නම් ඉදිරියේ දී වව්නියාව නගර පිරිසිදු කිරීම් කුණු කසල ඉවත් කිරීම් ආදි සියලු කටයුතුවලින් ඉවත්වන බවට ද විරෝධතාවයේ නිරත පිරිස් කියා සිටියහ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදු කරන බවටත් එතෙක් මාධ්‍ය වෙත අදහස් පළ කිරීමට නොහැකි බවටත් මේ පිළිබඳ වව්නියාව නගරසභා බලධාරීන්ගෙන් විමසූ විට ප්‍රනාශ කර ඇත.

වන්නි - රොමේෂ් මධූෂංඛ

Rate this item
(0 votes)