May 02, 2024

විපක්‍ෂ නායක වෙල්ගමද? සම්බන්දන්ද? - කථානායක අද දැනුම් දෙයි

September 03, 2015

විපක්‍ෂ නායක ධුරය සඳහා පත්වනුයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කුමාර වෙල්ගම මහතාද නැත්නම් ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්බන්දන් මහතාද යන්න අද (03) පාර්ලිමේන්තුවේදී කථානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනය කිරීමට නියමිතය.

විපක්‍ෂ නායක ධුරය හිමිවන්නේ කාටද යන්න සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක්‌ බවට පත්ව තිබේ. විපක්‍ෂ නායක ධුරය සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත්කරන ලෙස යෝජනා කරමින් මේ වනවිටත් එජනිස මන්ත්‍රීවරුන් 55දෙනකු අත්සන් කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක්‌ භාරදී ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක්‌ ඇමැති ධුර ලබා ගනිමින් ජාතික ආණ්‌ඩුවට එක්‌ව සිටින නිසා එජනිසට විපක්‍ෂ නායක ධුරය ලබාදීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බව පවසන ද්‍රවිඩ ජාතික සන්ධානය තම පක්‍ෂයේ නායක ආර්. සම්බන්දන් මහතාට විපක්‍ෂ නායක ධුරය හිමිවිය යුතු බවට කථානායකවරයා වෙත දැනුම් දීමක්‌ කර ඇත.

මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පක්‍ෂ 06න් පක්‍ෂ 04ක්‌ ජාතික ආණ්‌ඩුව සමඟ සම්බන්ධ වී සිටින නිසා විපක්‍ෂය ලෙස පිළිගැනෙනුයේ ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්‌ති පෙරමුණ බවද එම පක්‍ෂ දෙකට පිළිවෙළින් මන්ත්‍රීවරු 16 ක්‌ සහ 06 ක්‌ සිටින බවද ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රකාශ කර සිටී.

එම නිසා විපක්‍ෂ නායක ධුරය එජනිසට අයිති නැතැයිද ජවිපෙ ස්‌ථාවරය වී ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක තේරීමේ අයිතිය ජනාධිපතිවරයාට නැතැයි ද විපක්‍ෂ නායක වරයා කවුරුන්ද යන්න තීරණය කරන්නේ කථානායකවරයා බවද සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය. 

ඒ අනුව කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක ධුරය හිමිවන්නේ කාටද යන්න දැනුම් දෙනු ඇතැයිද සභානායකවරයා වැඩිදුරටත් පැවසි ය.

Rate this item
(0 votes)