May 01, 2024

ඇමති ධූර වැඩි කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට 

September 03, 2015

ජාතික ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැති ධුර 48 ක්‌ සහ කැබිනට්‌ නොවන ඇමැති ධුර හා නියෝජ්‍ය ඇමැති ධුර 45 ක්‌ පත් කිරීමට අනුමැතිය ඉල්ලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (03) පෙරවරුවේ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ ඉල්ලීම පරිදි අද පෙරවරු 9.30 සිට සවස 6.00 දක්‌වා විවාදයක්‌ පැවැත්වේ. විවාදය අවසානයේදී කැබිනට්‌ ඇමැති ධුර 48 ක්‌ සහ කැබිනට්‌ නොවන ඇමැති ධුර හා නියෝජ්‍ය ඇමැති ධුර 45 ක්‌ පත් කිරීමට පක්‍ෂව සහ ඊට එරෙහිව ඡන්ද විමසීමක්‌ පැවැත්වෙනු ඇත. දහනව වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව ජාතික ආණ්‌ඩුවකදී ඇමැති ධුර ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය.

පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක්‌ ලබා ඇති එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවා ඇති බැවින් අමාත්‍ය මණ්‌ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 48 ක්‌ නොඉක්‌මවිය යුතු බවත් අමාත්‍ය මණ්‌ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 ක්‌ නොඉක්‌මවිය යුතු බවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 46(4) ව්‍යවස්‌ථාවට අමතරව පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබයි යන්න අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඉදිරිපත් කරන යෝජනාවේ සඳහන් වේ.

දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය 46(1) ව්‍යවස්‌ථාවේ (අ) සහ (ආ) යන වගන්තිවලට අනුව ජාතික ආණ්‌ඩුවක්‌ නොවන අවස්‌ථාවලදී කැබිනට්‌ ඇමැති ධුර සංඛ්‍යාව තිහ නොඉක්‌මවිය යුතුය. කැබිනට්‌ නොවන ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව හතළිහ නොඉක්‌මවිය යුතුය. ඒ අනුව ඇමැති, නියෝජ්‍ය ඇමති සංඛ්‍යාව 70කි.

එහෙත් දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය 46(4) වගන්තිය අනුව ජාතික ආණ්‌ඩුවකදී කැබිනට්‌ ඇමැතිධුර සංඛ්‍යාව සහ කැබිනට්‌ නොවන හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව ඉහළ දැමිය හැක. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි.

ඒ අනුව අද අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන යෝජනාවට කැබිනට්‌ ඇමැති ධුර සංඛ්‍යාව 48 ක්‌, කැබිනට්‌ නොවන හා නියෝජ්‍ය ඇමැති ධුර 45 ක්‌ වශයෙන් සම්පූර්ණ සංඛ්‍යාව 93 ක්‌ සඳහා අනුමැතිය ඉල්ලා ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 September 2015 09:55