April 27, 2024

නිෂා බිස්වාල් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවෙයි  

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් අද (26) කොළඹ දී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් හමුවීමට නියමිතයි.

සාම්පූර් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති අතුල් කේශප් මහතා ප්‍රකාශ කර තිබේ.

අවතැන් වූ ජනතාවගේ ප්‍රජා තත්ත්වය වැඩි දියුණු කිරීම එහි අරමුණ බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත. සාම්පූර් ප්‍රදේශයේ පාසල් 02 ක් ඉදි කිරීමට ද ඒ යටතේ කටයුතු කෙරෙන බව වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ සහජීවනය ගොඩනැගීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග ඊයේ (25) සාකච්ඡාවක් පැවැත් විය.

පසුගිය මැතිවරණය සාමකාමී නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳ ඇය එහි දී ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළා ය. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු මෙන්ම රට තුළ සාමය සහ සහජීවනය ගොඩ නැගීම සඳහා හැකි සෑම සහයෝගයක්ම අමෙරිකාව ලබාදෙන බව සහකාර රාජ්‍ය ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් අමෙරිකාව සමග ඉතා සුහදව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එහි දී ප්‍රකාශ කළේ ය.

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද ඊයේ (25) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත් විණ.

 

Rate this item
(0 votes)