April 30, 2024

මංගලගෙන් විදේශ ප්‍රතිපත්තියට නව හඳුන්වාදිමක් 

වෙළෙඳ, සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය කේන්ද්‍ර කරගත් රාජ්‍ය තාන්ත්‍රික ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් ශ්‍රී ලංකා විදේශ කටයුතු ප්‍රතිපත්තියට හඳුන්වාදෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

තව ද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සිදු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේ ය.

ජාත්‍යාන්තර ප්‍රජාව විසින් ජනවාරි 08 විප්ලවයෙන් අනතුර ව අප වෙත ලබා දුන් අතිවිශාල කීර්ති නාමය මහත් උනන්දුවෙන් තව තවත් ගොඩ නගන බව වැඩි දුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

තවද ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවර දේශපාලන පසුබිම මෙවර මහ මැතිවරණයේ ජනතාව විසින් ලබා දුන් තීරණාත්මක ජනවරමෙන් පැහැදිලිවන බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය. 

මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) ඔහු විදේශ කටයුතු අමාත්‍ය ලෙස පත් කිරීමෙන් අනතුරු ව අදහස් දක්වමින් ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන් හෙතෙම විදේශ කටයුතු අමාත්‍යංශයේ රාජකාරි විශ්වාසවන්ත හා ව්‍යවස්ථානුකූලව ඉටු කිරීමට කැපවෙන බව අවධාරණය කළේ ය. 

මෙම පත්වීම මහා මැතිවරණයේ ලබාගත් ද්විත්ව ජයග්‍රහණය අනුගත කරන අතර තම ඡන්ද කොට්ඨාසය වූ මාතර ආසනය එක්සත් ජාතික පක්ෂය දකුණු පළාතේ ජයග්‍රහණය කළ ආසන දෙකෙන් එකක් විය. 

තවද මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර එකම ආසනය ද එයයි. එසේම 2010 තමන් ලැබූ මනාප මෙන් දෙගුණයක් මෙම මැතිවරණයේ ලබා ගැනීමට ද ඔහුට හැකි විය.

අමාත්‍ය සමරවීර මහතා මෙම අමාත්‍යධුරය දරන තෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර 2005 නොවැම්බර් සිට 2007 ජනවාරි දක්වා පළමු වරටත් 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා දෙවැනි වරටත් මෙම අමාත්‍යධුරය හෙබවීය. 

 

Rate this item
(0 votes)