May 02, 2024

යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර පරීක්ෂණයකට නීතිමය පසුබිමක් නෑ - අගමැති

ශ‍්‍රී ලංකාවේ සිදුව ඇතැයි පැවසෙන යුද අපරාධ චෝදනා පිළිබඳ  ජාත්‍යන්තර පරීක්ෂණයකට නීතිමය පසුබිමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ හින්දු පුවත්පත සමග පැවති සාකච්ඡාවක දී ය.

ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් තබා නොමැති හෙයින් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය. කෙසේ වුවත් යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාවක් පවතින බව අග්‍රාමාත්‍යවරයා එහි දී සඳහන් කර ඇත.

ඉකුත් සමයේ මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳ ඇති වූ අවිශ්වාසය ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුය, යන අදහස නිර්මාණයවීමට බලපෑ බව ද එහි දී වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

සියලු පාර්ශව සමග සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් ගැනීමට කටයුතු කරන බවත් එහි දී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මෙන්ම දෙමළ ජාතික සන්ධානය, තුන්වන පාර්ශවයක් ලෙස සාකච්ඡාවට එක්වනු ඇති බවත් බලය බෙදීම සම්බන්ධයෙන් හින්දු පුවත්පත වෙනුවෙන් සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම සඳහන් කළේ ය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මෙරට පුරවැසි බලවේග දැඩි ඉල්ලීමක් කර ඇති බව අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත. කෙසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් යම් විරෝධයක් දක්වන බවද ඔහු එහි දී සඳහන් කර තිබේ.

 

Rate this item
(0 votes)