May 06, 2024

ජානිපෙ චෝදනා ගැන සුසිල්ගෙන් පිළිතුරු 

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නම් කිරීමේදී  විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික  පියසිරි විජේනායක මහතා ඊයේ(23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉතිහාසයේ විශාලතම පාවාදිම සිදු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ ඔහුට එරෙහිව පවතින වාරණ නියෝගය පිළිබඳ විවේචනය කරන්නන්ට අවබෝධයක් නොමැති බවයි.

එවැනි චෝදනා කරන්නන් අදාළ වාරණය ඉවත් කර ගැනිම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සන්ධානය එක්ව තබා ගැනීමට හිටපු මහලේකම්වරයා කළ කැපවීම විවේචනය කරන්නට අමතකවී ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

සන්ධානය සමග එක් නොවූයේනම් එම දේශපාලන පක්ෂවලට අත්වන ඉරණම කෙබඳු ද යන්න පිළිබඳ වටහාගත හැකි බව සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම මැතිවරණයේදී වැඩිම වාසිය අත් කර ගත් දේශපාලන පක්ෂවලින්ම නිර්දය විවේචන එල්ල වීම සදාචාරාත්මක නොවන බවත් අධිකරණ කි‍්‍රයාමාර්ග නොවන්නට හා මැතිවරණ ප‍්‍රතිඵලය මෙලෙස නොවන්නට ජාතික ලැයිස්තුව මීට පෙර සන්ධානය විසින් සකස් කළ අයුරුත් ගැටලූවකින් තොරව නාමයෝජනා සකස් කළ අයුරුත් සන්ධානයේ ආධාරකරුවන් ද විශේෂයෙන් හවුල්කාර පක්ෂයේ නායකයින් ද දැනුවත්ව ඇති බවත් එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

එමෙන්ම, එහි අවසන් වශයෙන් දක්වා ඇත්තේ සන්ධාන ජාතික ලැයිස්තුව නම් කිරීම හිටපු සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ පාලනයකින් තොරව සිදුව ඇති බව කාටත් පැහැදිලිය යන්නයි.  

Rate this item
(0 votes)