May 07, 2024

ඇසළ පෙරහැරේ අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (24) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි.

දළදා මාලිගාව ඉදිරිපිටින් දකුණු දිශාභිමුඛව අද රාත්‍රී 07.12ට ආරම්භවන කුඹල් පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්‌සේ ගමන් කර ගෙවැදෙයි.

හෙට (25) දින රාත්‍රී ප්‍රථම රන්දෝලි පෙරහර ආරම්භවීමට නියමිතයි.

අවසන් රන්දෝලි පෙරහැර ලබන 29 වැනි දා පැවැත්වෙන අතර ඊට පසුදා දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරේ.

පෙරහැර නරඹන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 4,000 ක් පමණ යොදවා ඇති අතර පෙරහැර පැවැත්වෙන කාලසීමාවේ දී මහනුවර නගරය සහ ඒ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වේ.

රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන්නේ ලබන 25 වැනි දා සිට 29 වැනි දා දක්වායි.

30 වැනි දින අලුයම ගැටඹේ තොටුපළෙහි දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරු ව පැවැත්වෙන දවල් පෙරහැරෙන් මහනුවර ඇසළ පෙරහර මංගල‍්‍යය නිමාවට පත් වේ.

එම පෙරහැරේ සජීවී විකාශය අද රාත්‍රී 07.00 සිට අප වෙබ් අඩවිය ඔස්සේ නැරඹිය හැකි අතර ඒ සඳහා පහත සබැඳිය භාවිත කරන්න.

පෙරහැර නැරඹීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න
Rate this item
(0 votes)
Last modified on Monday, 24 August 2015 16:43