May 07, 2024

සංචාරක හෝටල් හදන්න බිළිවන කණ්ඩලමේ අලි 

වෙඩි වැදීම හේතුවෙන් කණ්ඩලම වනාන්තරයේ අලියෙකු මේ වනවිට ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින බව අප වාර්තාකරු පවසයි.

මිට පෙර ද එම ප්‍රදේශයේ සිටි අලි කිහිප දෙනකුම වෙඩි තබා පන්නා දමා ඇති බව වාර්තා වේ. අලියා වෙඩි වැදී වැටි සිටින ස්ථානය අවට අලුතින් සංචාරක හෝටල් ඉදිවෙමින් පවතින අතර එය ගොවිතැන් නොකරන කැලෑවකි.

වෙඩි වැදී අලියෙකු සිටින බවට දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාට ලද තොරතුරක් මත සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත.

අලියාට දරුණු ලෙස වෙඩි පහරවල් ගණනාවක් වැදීම හේතුවෙන් බේරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව එම නිලධාරීන් පෙන්වා දෙයි.

කණ්ඩලම ජලාශය ඉදිකිරීමට පෙර මෙම ප්‍රදේශය ගම්මානයකි. පසුව එම පදිංචිකරුවන්ට වන්දි හා විකල්ප ඉඩම් ලබා දී ඔවුහු වෙනත් ප්‍රදේශයක පදිංචි කරවා මෙම ඉඩම් කණ්ඩලම වැව් රක්ෂිතය ලෙස නම් කර තිබිණි. වසර 30,40 ක් පමණ ප්‍රදේශය පිළිබඳ වනාන්තරයක්ව පැවතුනි. මෙහි වන සතුන් අලි ඇතුන්ගේ වාස භූමියක් විය.

වන්දි ලබා දී ඉඩම් අත්පත් කර ගත්ත ද කිසිදු රජයක් මෙම ඉඩම් ගැසට් කිරීමක් නොකළේ ය. අනතුරු ව ප්‍රදේශයේ කණ්ඩායම් 02 ක් එක් ව පරණ අයිතිකරුවන් ළඟ තිබුණු ඔප්පු එකතු කර පවරා ගෙන සංචාරක හෝටල් හිමියන්ට අලෙවි කිරීම මේ දිනවල සිදු කෙරේ.

ඒ අනුව මෙහි සිටින වන සතුන් පන්නා දැමීම, මරා දැමීම සිදුවන බව ජනතාව සඳහන් කරයි.

මෙසේ වෙඩි තබා මරණාසන්නයේ සිටින අලියා මෙන්ම තවත් අලින් රැසකගේ ජීවිත අවධානම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කරන්නැයි ජනතාව ඉල්ලා සිටී.

කාංචන කුමාර ආරියදාස

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 August 2015 11:49