May 07, 2024

ශ්‍රීලනිපය ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාවක්, 2020 දක්වා මෛත්‍රී - රනිල් ආණ්ඩුවක් - චම්පික (VIDEO) 

මෙවර මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතවී ජනවාරි 08 වනදා ලබාදුන් ජනවරම ඉදිරියට ගෙනයාමට එක්සත් ජාතික පෙරමුණ යටතේ හැකියාව ලැබුණු බව එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂ්කයෙක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසූවේ අද (20) පෙරවරුවේ බත්තරමුල්ල එක්සත් යහපාලන ජාතික පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

මෙහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,

“මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජන්ද ලක්ෂ 58 ක් ඇති බවත්, බහුතර බලය හිමි වී, මහින්ද අගමැති වන බවට ප්‍රකාශ කළා. එක්සත් ජාතික පෙරමුණ බලයට පත් වුවහොත් රට බෙදනවා, රාජ්‍ය ආයතන පුද්ගකලීකරණය කරනවා, ත්‍රස්තවාදීන් නැවත ඇති වෙනවා. යැයි බියවැද්දීම් සිදු කළා.

මැතිවරණ කොමසාරිස්වරයාට, එහි නිලධාරී මණ්ඩලයට, පොලීසියට සාමාකාමී මැතිවරණයක් පැවැත්වීම සහ සැමට සම අවස්ථා ලබාදීම ගැන ස්තූතිවන්ත වෙනවා. තවමත් පෝස්ටර් යුගය පවතිනවා. පාතාල බලවේග බියවැද්දීම් තවමත් ක්‍රියාත්මකවෙනවා. නමුත් මෙවර අවගමනය වන සිදුවීම් අවමයි. අප විසින් 2010 වර්ෂයේ ඇති කළ මැතිවරණ ක්‍රම සම්ප්‍රදාය මඟින් ඉදිරියට ගමන් කර තිබෙනවා.එම සම්ප්‍රදාය තවත් දියුණු කර කොට්ඨාශ ක්‍රමයට එක් මන්ත්‍රීවරයෙක් ලැබෙන මැතිවරණ ක්‍රමය ඇති කිරීමට අපි කැපවෙනවා. ඉදිරි වසර පහ තුළ ගැටුම් ඇති නොවන පාර්ලිමේන්තු සම්ප්‍රදායේ වෙනසක් ඇති කර මහා සම්මතයෙන් තීන්දු ලබා ගැනීමට කටයුතු කරනවා.“

“රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ත්‍රස්තවාදය නැවත හිස එසවීමට යුධ අපරාධ වලට නතු වීමට අප ඉඩ නොතබන බව වගකීමෙන් කියනවා. ඒ වගේම පුළුල් සන්ධානයකට පිටු බලය ලබාදුන් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාටත්, පක්ෂය ගැන නොසිතා පොදු අරමුණ ගැන කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු පිරිසටත් ස්තූතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. එම පක්ෂයත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එකතු වෙයි. 2020 දක්වා මෛත්‍රීපාල ජනාධිපති හා රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ රට ඉදිරියට ගෙනයනවා. අපට තිබෙන ජාත්‍යන්තර දේශපාලනික, ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සිද්ධ වෙනවා. මෙවර මැතිවරණයේදී කොටි සංවිධාන ආධාරකරුවන් පරාජය වීමත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙලා. ඉදිරියේදී අපට එළඹෙන්නේ අභියෝගාත්මක කාලයක්. සෑම ප්‍රශ්නයකටම විවිධ දේශපාලන ප්‍රවාහයන් සමඟ සමාජ අවශ්‍යතාවයන්ට කටයුතු කිරීමට පසුබට වෙන්නේ නැහැ"යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 August 2015 16:15