May 02, 2024

නීතිවිරෝධි පෙළපාලි ගිය අය ගැන වාර්තා නීතිපතිට

මහමැතිවරණයේ නාමයෝජනා අවසන් වූ දිනයේ පෙළපාලි යාමේ සිද්ධීන් පිළිබඳ සිදු කළ විමර්ශන වාර්තා අද (22) නීතිපතිවරයා වෙත භාර දී තිබේ.

මහනුවරින් සිද්ධීන් 03 ක් සහ ගම්පහ මෙන්ම අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් එක් සිද්ධිය බැගින් ද මීට අදාළව වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

ඒ අනුව මහනුවර ප්‍රදේශයේ පැවැත් වූ නීතිවිරෝධී පෙළපාලි පිළිබඳ වාර්තා අද නීතිපතිවරයාට ලබාදී ඇති අතර ඉදිරියේ දී ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. සෙසු සිද්ධීන් පිළිබඳ විමර්ශන අවසන් වූ විගස නීතිපතිවරයාට කරුණු වාර්තා කරනු ඇත. 

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ තිබෙන ප්‍රතිපාදනවලට අනුව නාම යෝජනා පළවන දිනයෙන් ආරම්භ වී පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර සතියක් ගතවනතුරු සම්පූර්ණ කාලය තුළ දී ආගමික හා සාමාජික වශයෙන් පවත්වන පෙරහැරවල් හැරුණුවිට වෙනත් කිසිදු ආකාරයක පෙරහැරක්, පෙළපාලියක් පැවැත්වීම තහනම්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ පිළිබඳ අදහස් දක්වන රුවන් ගුණසේකර මහතා,

"එසේ තිබිය දී පසුගිය නාමයෝජනා ලබාදෙන ලද අවසාන දිනයේ ප්‍රදේශ කිහිපයක පෙළපාලි කිහිපයක් පැවැත් වූ බවට වාර්තා වුණා. එය වාර්තාවීමත් සමගම පොලිස්පතිතුමා වහාම එම ප්‍රදේශභාර නියොජ්‍ය පොලිස්පතිවරු වෙත නියෝග කළා එලෙස නීතිවිරෝධී ලෙස පෙළපාලි යාමේ සිද්ධීන් පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලෙසට. 

ඒ අනුව මේ වනවිට මහනුවර ප්‍රදේශයේ පෙළපාලි 03 ක් පිළිබඳවත් ගම්පහ ප්‍රදේශයේ එක් පෙළපාලියක් පිළිබඳවත් සහ අවිස්සාවේල්ල ප්‍රදේශයේ එක් පෙළපාලියක් පිළිබඳවත් විමර්ශන ආරම්භ කරනු ලැබුවා. එම විමර්ශනවලින් මහනුවර ප්‍රදේශයේ පෙළපාලි සිද්ධීන් 03 සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශණ අවසන් කර තිබෙනවා. 

එම පෙළපාලි 03 පවත්වා තිබෙන්නේ අපේක්ෂකයින් තිදෙනෙකු සම්බන්ධයෙනුයි. එම අපේක්ෂකයින් තිදෙනාගේත් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. ඒ වගේ ම රූපවාහිනී මාධ්‍ය ආයන කිහිපයකින් එම පෙළපාලිවලට අදාල  වීඩියෝ දර්ශන ද ලබාගෙන තිබෙනවා. ඒ අනුව එම පෙළපාලි පැවැත් වූ මහනුවර ප්‍රදේශයේ පෙළපාලි පැවැත් වූ සිද්ධීන් 03ට අදාල විමර්ශනය අවසන් කර එම විමර්ශන ගොණු අද (22) දින නීතිපති දෙපාර්තමේනතු වෙත භාර දුන්නා. 

එලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දුන්නේ පනතේ ප්‍රතිපාදනවලට අනුව පෙළපාලි පැවැත් වූ සහභාගී වූ සහ ඒවා සංවිධානය කළ තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපතිගේ අනුමැතිය ලබා ගැනීම සඳහායි" යනුවෙන් ඔහු සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)