May 07, 2024

මැතිවරණ ව්‍යාපාරය වෛරී දිශාවකට යනවා - කැෆේ 

මහමැතිවරණයේ මැතිවරණ ව්‍යාපාරය මේ වනවිට වෛරී දිශාවකට ගමන් කරමින් පවතින බව කැෆේ සංවිධානය සඳහන් කරයි. 

එකම පක්ෂයේ අපේක්ෂකයින් විසින් තම පක්ෂයේ තවත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නට එපා යැයි සඳහන් කරමින් සෘණාත්මක මැතිවරණ ව්‍යාපාර මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මේ සඳහා අන්තර්ජාලය, ‍ෆේස්බුක් මෙන්ම ජංගම දුරකතන කෙටි පණිවිඩ ද බහුලවම යොදා ගන්නා බව තෙන්නකෝන් මහතා පවසයි. සෑම මැතිවරණයක දී ම දිස්ත්‍රික් මට්ටමින් මෙවැනි තත්ත්වයක් සුළු වශයෙන් දක්නට ලැබුණ ද මේ වනවිට එම තත්ත්වය දැවැන්ත මට්ටමින් ක්‍රියාත්මක බව ඔහු පෙන්වා දෙයි. 

මෙහි අවසන් ප්‍රතිඵලය එකම දේශපාලන  පක්ෂයේ අපේක්ෂකයින් අතර තරගය තියුණුවීම සහ ගැටුම් මෙන්ම ප්‍රචණ්ඩත්වය වර්ධනයවීම බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසී ය. 

මෙලෙස ප්‍රචණ්ඩත්වය වර්ධනයවීම ඉදිරි මහ මැතිවරණයේ නිදහස් හා සාධාරණ භාවයට බාධාවක් බව ඔහුගේ අදහසයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ 03ක අපේක්ෂකයින් මෙලෙස එකනෙකාට අපහාස කර ගනිමින් වෛරී මැතිවරණ ව්‍යාපාරයක නිරතවන බවත් එම තත්ත්වය එම පක්ෂවල නායකයින් සහ මහ ලේකම්වරු විසින් පාලනය කර ගත යුතු බවත් තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. 

මේ වනවිට කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 372 ක් වන අතර එයින් 352 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ය.‍අනිකුත් සිදුවීම් 20 ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී ඇත. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 July 2015 16:56