May 01, 2024

ගංජා ප්‍රවාහනය කළ සබරගමු මහ ඇමැතිගේ රියැදුරු රිමාන්ඩ්

සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදවා ගත් පොලිස් ජීප්රථයක රියදුරු ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශය මඟින් පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගෙන කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම රියදුරු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ සබරගමුව පළාත් සභාවට අනුයුක්තව සිටි කෑගල්ල, ඉඹුල්ගස්දෙනිය ප්‍රදේශයේ පදිංචි චමින්ද අතුකෝරල නමැති හතළිස් හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසී ය.

පසුගිය 18 වැනිදා අලුයම 2. 30ට පමණ ගංජා ප්‍රවාහනය කරමින් සිටි රියදුරු සමඟින් අත්අඩංගුවට ගත් ජීප්රථයේ තිබී ගංජා කිලෝග්‍රෑම් දෙකක් ද, පසුව කරන ලද විමර්ශනවලදී රියදුරාගේ නිවසේ තිබී තවත් ගංජා කිලෝග්‍රෑම් එකක් ද අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරිණි.

මේ අතර සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා සඳහන් කරන්නේ තම ජීප් රථයේ තිබී ගංජා කිලෝ 2ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රියැදුරාට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් පාලන ලේකම්වරයාටත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් උපදෙස් දුන් බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ රියදුරු මීට සති දෙකකට පෙර සබරගමුව පළාත් සභාවෙන් ලබා දුන් බවත් ඔහු තම ආරක්ෂක රථයේ රියැදුරකු වශයෙන් කටයුතු කළ බවත් මහ ඇමතිවරයා පැවසී ය.

සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරින් ගමන් ගන්නා පළාත් සභාවට අයත් ජීප් රථයක තිබී සුරාබදු නිලධාරින් ගංජා කිලෝ දෙකක් සමඟ රියැදුරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කෑගල්ලේ පැවැති අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

 

Rate this item
(0 votes)