May 06, 2024

‘පොලිසියේ’ මාර්ග සංඥා පුවරු ‘නීතිඥයින්ගේ’ වාහන සමග ගැටුමක (Photos)

මාරවිල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශණය කර තිබූ  “ වාහන නවතා තැබීම තහනම්”නම් වූ පුවරු ඉවත් කර මාරවිල දිසා අධිකරණයේ නීතිඥවරුන් බලහත්කාරයෙන් එම ස්ථානයේ තම වාහන ගාල් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ මාරවිල දිසා අධිකරණයට ආසන්නයෙන් පිහිටි මාරවිල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට වාහන ගාල් කිරීම තහනම් කිරීමට මාරවිල සහකාර පොලිස් අධිකාරීවරයා ගෙන ඇති තීරණයට මාරවිල අධිකරණයේ නීතිඥයින් අද (22 දා) පෙරවරුවේ සිය විරෝධය පළ කරමින්ය.

අනතුරුව මාධ්‍යයන් වෙත ප්‍රකාශයක් කළ මාරවිල නීතීඥ සංගමයේ සභාපති ඇලෙක්ස් ප්‍රනාන්දු මහතා කියා සිටියේ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ගෙන ඇත්තේ අත්තනෝමතික ක්‍රියාවක් බවත්, වාහන ගාල් කරන හෝ නොකරණ ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකියාව ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට බවත්ය .ඒ බව ගෙන හැර දක්වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්ද සභාපතිවරයා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදි.

තමන් විසින් සිදු කරණු ලබන්නේ ගෞරවණීය සේවයක් බවත්, නීතිඥයින්ගේ ගෞරවයට හානි වන ආකාරයට කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා දිය නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් මාරවිල සහකාර පොලිස් අධිකාරී ජේ.ඒ.එස්.පියරත්න මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන්ට මාධ්‍යයන්ට ප්‍රකාශයක් ලබා දීමට අවසර නැතත් තමන්  විසින් සිදු කර ඇත්තේ රථ වාහන නීතියට අනුව ක්‍රියා කිරීමක් පමණක් බවය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට තමන් ගරු කරන බවත්,නීතිඥවරුන් පවසන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ රථවාහන පනත අවලංගු කර නොමැති බවද සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියේය. තවද, රථ වාහන නීතිය උල්ලංඝණය කළ නීතිඥයින්ට එරෙහිව නීතිඥ සංගමය දැණුවත් කිරීමට තමන් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් ‍කළේය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාරවිල දිසා අධිකරණයේ දිසා විනිසුරුවරයා සහ මහේස්ත්‍රාත්වරයා දැණුවත් කිරීමට තමන් කටයුතු කරන බව දෙපාර්ශවයම කියා සිටියේය.

පුත්තලම - ජූඩ් සමන්ත

(ඡායාරූප පහළින් නරඹන්න..)

Rate this item
(0 votes)
Last modified on Friday, 22 May 2015 12:13