May 06, 2024

යාපනයේ සිසුවිය දූෂණය කිරීම කොන්ත්‍රාත්තුවක් - මෙන්න ඇත්ත

යාපනය කයිට්ස් පුංකුඩතිව් හී 18 හැවිරිදි පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වෙයි.

කයිට්ස් වේලනි ප්‍රාදේශීය සභාවේ ජල බවුසරයේ රියදුරෙකු ‍වන මොහු කයිට්ස් පොලිස් ස්ථානයේ ජල ටැංකියට ජලය සැපයීම සඳහා නිතර පැමිණීමෙන් පොලිස් නිලධාරීන් සමඟද සුහදව කටයුතු කර තිබෙන බවත් දැනගන්නට තිබේ.

ඝාතනයට ලක් වූ සිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ මව මෙයට කලකට පෙර පුද්ගලයින් තිදෙනකුට එරෙහිව අධිකරණයේ සාක්ෂි ලබාදීමේ සිද්ධියක් මෙම ඝාතනයට මුල්වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. එම පුද්ගලයින් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ හිතවතුන් සිව් දෙනකු සිසුවිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කර තිබෙන බවට පොලිස් පරීක්ෂණ මඟින් හෙළිවී තිබේ.

සිසුවිය ඝාතනය කිරීම සඳහා රුපියල් 50000/-ක මුදල් ලබාදීමේ පොරොන්දුවක් මත මුලින් රුපියල් 10000/-ක් ලබාදී තිබෙන අතර ඉතිරි මුදල ඝාතනයෙන් පසු ලබාදීමට කොන්ත්‍රාත්තුව ‍බාරදුන් පුද්ගලයින් එකඟ වී ඇත. ඝාතනයට ලක් වූ සිසුවියගේ පියා අංශභාග රෝගයට ගොදුරුව එක්තැන්ව සිටින අතර විසිතුන් හැවිරිදි සොහොයුරු කුලී වැඩකර පවුල නඩත්තු කරන බව වාර්තා වෙයි.

මිය ගිය සිසුවිය උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබන ඉගෙනීමට දක්ෂ සිසුවියක් බවත් ඇගේ සහෝදරිය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සැකපිට අත්අඩංගුවට ‍ගත් සැකකරුවන් 08 දෙනා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණ කිහිපයක් ආරම්භ කර තිබේ.

මේ අතර ඊයේ (21) දිනයේද යාපනයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් යාපන‍ේ භාර පොලිස් නිලධාරීන් සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධ ඇසින් දුටු සාක්ෂි නොමැති හෙයින් ඩී.එන්.ඒ තාක්ෂණය ඔස්සේ සාක්ෂි විමර්ශනය කිරීමට තීරණය කර ඇති බවය.

 

Rate this item
(7 votes)
Last modified on Friday, 22 May 2015 09:44