May 19, 2024

ලොව විශාලතම ශෛලමය බුදු පිළිම වහන්සේ නිරාවරණය අදයි (VIDEO)

කුරුණෑගල දොඩම්ගස්ලන්ද ඓතිහාසික රම්බඩගල්ල මොනරාගල විහාරස්ථානයේ පිහිටි ස්වභාවික පර්වතයක මුර්තිමත්වන ලොව විශාලතම ශෛලමය සමාධි බුදු පිළිම වහන්සේ අද (30) සවස 3.30 ට රම්බඩගල්ල මොනරාගල විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරයේදී නිරාවරණය කෙරේ.

මෙම පුණ්‍යකර්මය සදහා උරදී කටයුතු කරනු ලැබූවේ කුරුණෑගල රීදිගම රම්බඩගල්ලේ මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි මාහිමිපානන්ය. මෙම නිර්මාණය භාරව කටයුතු ක‍රනුයේ ඉන්දියාවේ ''පද්ම ශ්‍රී" "ශිල්ප කලාමණි" සම්මානලාභී ඇම්.ඇම්.ස්තපති නැමැති කීර්තිමත් කලා ශිල්පියාණෝය. එලෙසම මෙම නිර්මාණ කටයුතු සදහා ඩී.ඊශ්වරන් මහතාගේ කැපවීමද බෙහෙවින් මහෝපකාරී විය.

පොලොන්නරු ගල් විහාර පිලිම නිර්මාණයෙන් වසර 875 කට පසු නිර්මාණය වන දශලක්ෂ 5.3 ක වියදමින් අඩි 67.5 ක් උසැති අතීත ශ්‍රී විභුතියෙන් අභිමානවත්ව නිර්මාණ‍ය වූ මෙම ශෛලමය ප්‍රතිමා වහන්සේ 21වෙනි සියවසේ සියලුම ජනතාවට ආඩම්බර විය හැකි, අනාගත දරු මුනුබුරන් වෙත අමිල තිලිණයක් ලෙසින් දයාද කල හැකි අති විශිෂ්ඨ කලා නිර්මාණයකි. මෙම සමාධි බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීම සදහා 10දෙනෙකුගෙන් යුතු ශිල්පීන් කණ්ඩායමකට වසර 15 ක පමණ කාලයක් කැප කිරීමට සිදු විය.

රම්බඩගල්ල විහාරාධීපති එගොඩමුල්ලේ අමරමෝලි හිමියන්ගේ ආරාධනයෙන්  අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥානේස්වර මාහිමිපාණන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය නාපාන පේමසිරි හිමිපාණෝ ඇතුළු මහා සංඝ රත්නයද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු මැති ඇමැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මහජන පුජෝපහාර පිණිස ශ්‍රී ලංකා ප්‍රෞඩ ඉතිහාසයේ, අනුරපුර පොළොන්නරු යුග පරිවර්තනයෙන් පසු රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරයේ පිහිටි මහා ගල් පර්වතයක නෙලන ලද මෙම අසහාය ශෛලමය සමාධි මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 April 2015 10:53