May 19, 2024

මේවා අහලා ඔළුව මඤ්ඤං වෙනවා - මහේස්ත්‍රාත් / (සෙල්ලං පිස්තෝල නගරාධිපති ගේ නඩුව)

2014 මාර්තු මස 27 වැනි දා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට බහත්කාරයෙන් ඇතුළු වී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු රැගෙන යෑමට තැත් කිරීම සහ පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කෙරුණු හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා (සෙල්ලං පිස්තෝල නගරාධිපති) අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කළේය.

කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ අධිකරණයේ අභිමතය පරිදි ඇප ලබාදෙන ලෙසය.

මේ අවස්ථාවේදී එම නිලධාරියාගෙන් මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දීමට හේතු මොනවා දැයි විමසීය.

සාමාන්‍ය වරදක් කර ඇති පුද්ගලයෙකුට පවා ඇප නොයිල්ලන පොලිසිය මෙම සැකකරුට ඇප ඉල්ලන්නේ ඔහු නගරාධිපතිවරයෙකු නිසා දැයි මහේස්ත්‍රාත්වරයා එම නිලධාරීන්ගෙන් වැඩි දුරටත් ප්‍රශ්න කළේය.

මෙම නගරාධිපතිවරයාට විරුද්ධව තවත් චෝදනා තිබෙනවා නොවේදැයි විමසූ මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙස  විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට නියෝග කොට පැමිණිල්ල විභාගයට ගැනීම පැය කිහිපයකට කල් තැබීය.

දහවල් 12.30 ට පමණ පැමිණිල්ල යළි කැඳවූ අවසථාවේදී සැකකාර නගරාධිපතිවරයාට ඇප ලබා දීමට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහූ විරුද්ධ විය.

විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකාර නගරාධිපතිවරයාට ඇප ලබානොදීමට හේතු ඉදිරිපත් නොකිරීම පිළිබඳව විවෘත අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයා මෙසේ පැවසීය.

“ ගමේ භාෂාවෙන් කියනවා නම් මේවා අහලා ඔළුව මඤ්ඤං වෙනවා. එම නිසා සැකකරු දින 14 ක් රිමන්ඩ් කළ යුතු වුවත් පොලිසිය හරි හැටි චෝදනා ගොනු කර නැහැ.”

මේ හේතුවෙන් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට අද (30) අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

(උපුටා ගැනීම ලංකාදීප)

මේ අතර හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මැයි 13 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (30) නියෝග කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 01 May 2015 01:58