May 01, 2024

පොලීසිය දෙමාපියන්ට අසාධාරණයක් කළැයි පුතා සත්‍යග‍්‍රහයක - පොලීසිය නිහඩයි

February 16, 2015

ඌව පරණගම පොලිසිය මගින් තම මව්පියන්ට සිදුවන අසාධාරණයට එරෙහිව වැලිමඩ නගරයේ ඔරලෝසු කණුව අසලදී තරුණයෙකු සත්‍යග‍්‍රහයක නිරත වූහ. 

මෙසේ සත්‍යග‍්‍රහයක නිරත වූයේ ඌව පරණගම දවුල්දෙන ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකු වන ප‍්‍රශාන් ශ‍්‍රීලාල් මහතාය. 

තම දෙමාපියන්ට ඌව පරණගම පොලිසියෙන් සිදුවන අසාධාරණයට විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතා පුවරුවක්ද රැගෙන පැය දෙකක පමණ කාලයක් ඔහු විරෝධතාවයෙහි නිරත වූහ.

මෙහිදී අදහස් දැක්වූ ප‍්‍රශාන් ශ‍්‍රීලාල් මහතා “ඌව පරණගම පොලීසියේ සේවය කරන අපේ ගමේ පදිංචි පොලිස් නිළධාරියෙක් එයාගේ ගෙදරට යන්න අපේ සින්නක්කර ඉඩම මැදින් පාරක් ඉල්ලනවා. අපි මේකට විරුද්ධ වුණා. මගේ දෙමාපියන් දෙන්නා වයෝවෘද්ධයි. දැන් පාර දුන්නේ නැති නිසා ඌව පරණගම පොලිස් ස්ථානාධිපතිවරයා සමග එකතු වී මේ අය විවිධ පැමිණිලි ඉදිරිපත් කරමින් වයෝවෘද්ධ දෙමාපියන් දෙන්නට හිංසා කරනවා. මේක දැන් උසාවියටත් ගිහින් තියෙන්නේ. අපි මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කළා. මේ සිද්ධවෙන අසාධාරණය පිළිබද පොලිස්පතිතුමාට පවා පැමිණිලි කලාට සාධාරණයක් උනේ නෑ. මේ අසාධාරණයට විරුද්ධව මම අද පාරට බැස්සේ.“

මේ පිළිබදව අප ඌව පරණගම පොලිස් ස්ථානාධිපති වසන්ත දිසානායක මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ රාජකාරී හේතු මත මේ පිළිබදව ප‍්‍රකාශයක් ලබා දීමට නොහැකි බවයි.

අනතුරුව එම ස්ථානයට පැමිණි ඌව පළාත් සභවේ වැඩ බලන ප‍්‍රධාන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා බණ්ඩාරවෙල කොට්ඨාශය භාර ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරිවරයා හමුවට දෙපාර්ශවය කැදවා සාධාරණ පරික්ෂණයක් කරන බවට විරෝධතාකරුට පැවසීමෙන් අනතුරුව විරෝධතාවය නිමා විය.

කැප්පෙටිපොල - පේ‍්‍රමලාල් රත්නායක

 

Rate this item
(0 votes)