April 30, 2024

කළකිරී රටගිය චන්ද්‍රිකා ලඟදීම එනවාලු

February 16, 2015

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය  13 වැනිදා හදිසියේම විදේශ ගත වී ඇති බවත් නැවතත් ඇය ලඟදීම මෙරටට පැමිණීමට නියමිත බවත් ගුවන්තොටුපොල ආරංචි මාර්ග පවසයි.

ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්වූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර 13 වැනි දා ශ්‍රී ලංනිපයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී හිටපු ජනාධිපතිනිය විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් යෝජනා පිළිබඳ ඇය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් අතර යම් පරස්පරතාවයක් හටගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබිණි.

ශ්‍රීලනිපය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමාන තනතුරක් තමන්ට අනවශ්‍ය බවත් තමන් කිසිසේත් හිටපු ජනපති සමඟ සම තත්ත්වයේ තනතුරක වැඩ නොකරන බවත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් 14 වැනිදා පැවති පක්ෂ විධායක කමිටු රැස්වීමේදී හිටපු ජනපතිනියට හිමිවූයේද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සමාන තනතුරකි. ඒ අනුව එම විධායක කමිටු රැස්වීමේදී පක්ෂයේ අනුශාසකවරුන් ලෙස හිටපු ජනාධිපතිවරුන් මෙන්ම හිටපු අගමැතිවරුන් ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන අලෙවි මව්ලනා මහතාද, කථානායක චමල් රාජපක්ෂ මහතාද, මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාද පත් විය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් තමාට කිසිදු වරප්‍රසාදයක් අනවශ්‍ය බවත් තම පියා විසින් ආරම්භ කරන ලද ශ්‍රීලනිපය යළි ප්‍රජාතාන්ත්‍රික ප්‍රවාහයට ගෙන මෙහෙයවීමට පක්ෂයේ නායකත්වය ලබාදීම පමණක් ප්‍රමාණවත් බවත් ඇය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 14 වැනි දා බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේ දි රැස්වූ අතර එහිදී නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගෙන තිබිණි.

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 16 February 2015 13:00