August 11, 2020

සමනලයකුට වෛර කළ චන්ද්‍රිකා

ජනතා විමුක්ති පෙරමුණේ අළුගෝසුවන් විජය කුමාරතුංගයන් ඝාතනය කොට අදට වසර 32 කි. මේ ලිපිය පළවන්නේ ඒ වෙනුවෙනි.

යහපාලන ආණ්ඩුව පත් වී සති කිහිපයකට පසු රහස් පොලිසියෙන් ප්‍රේමසිරි පෙරේරාට කැඳවීමක් ලැබුණි. ප්‍රේමසිරි පෙරේරා විජය කුමාරතුංගගේ සමීපතම මිතුරෙකි. විජයගේ නායකත්වයෙන් බිහි වූ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක පුරෝගාමියෙකි. ප්‍රේමසිරි, රහස් පොලිසියට කැඳවනු ලැබුවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පැමිණිල්ලකට අනුවය. රහස් පොලිසියට යන තෙක් තමන්ට එරෙහිව ඇති පැමිණිල්ල කුමක්දැයි ප්‍රේමසිරි දැන සිටියේ නැත. චන්ද්‍රිකාගේ පැමිණිල්ලට පාදක කොටගෙන තිබුණේ ප්‍රේමසිරි, පුවත්පතකට ලියූ ලිපියකි. ඔහු ඒ ලිපියෙන් කියා තිබුණේ විජයගේ මරණයට, එක්තරා අන්දමකින් චන්ද්‍රිකාගේ හැසිරීමද හේතු වූ බවය.

රහස් පොලිසියේදී ප්‍රේමසිරි පෙරේරා දුන් කට උත්තරයෙන් පොලිස් නිලධාරීහු මවිතයට පත් වූහ. ප්‍රේමසිරි කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණට, විජය මරා දැමීමට අවස්ථාව ලැබුණේ විජයට නිසි ආරක්ෂාවක් නොලැබුණු නිසා බවය. එසේ වීමට චන්ද්‍රිකා වගකිව යුතු බව ප්‍රේමසිරි රහස් පොලිසියට කීවේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ රට ලෙයින් තෙත් කළ කාලයයි. ශ්‍රී ලංකා මහජන පක්ෂය ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ආ විජය හා චන්ද්‍රිකා, ඔසී අබේගුණසේකර, වයි. පී. ද සිල්වා, දේව බණ්ඩාර, ප්‍රේමසිරි පෙරේරා ආදී පිරිසක් එහි ජනප්‍රිය නායකයෝ බවට පත් වූහ. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ රටේ සියලු වාමාංශික පක්ෂ හා බහුජන සංවිධාන එක් කොටගෙන ප්‍රබල වාමාංශික බලවේගයක් ගොඩනැගීමය. මහජන පක්ෂයේ ක්‍රියා කලාපය හා ජනප්‍රියත්වය ජනතා විමුක්ති පෙරමුණට ප්‍රබල අභියෝගයක් විය. ඔවුහු පක්ෂයේ දේශපාලන රැලිවලට වෙඩි හා බෝම්බ ප්‍රහාර එල්ල කළහ. දේව බණ්ඩාර වැනි නායකයෝ වේදිකාව මතදීම මියගියෝය. මේ වන විට යුද හමුදාව හා පොලිසිය දැවැන්ත මර්දන මෙහෙයුමක් ආරම්භ කොට තිබුණි. නමුත් ජවිපෙ ඉලක්කයන් වූ වාමාංශික පක්ෂ නායකයන් හා එජාප පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් තිබුණේ නැත. ඔවුන් වැඩි දෙනෙක් ජීවිත ගත කළේ ත්‍රස්ත බියෙනි. තමන්ගේ ආරක්ෂාව තමන්ටම බලා ගන්නටය කියා ජනාධිපති ජේ. ආර්. ප්‍රකාශ කළේ ය. ජනතා විමුක්ති පෙරමුණෙන් ආරක්ෂා වීමටද ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටද විවිධ කණ්ඩායම් බිහි විය. ඒවා අතර කැපී පෙනුණේ ‘ප්‍රා’ සංවිධානයයි. අද දේශපාලන භූමියේ ප්‍රධාන චරිත කීපයක්ම ‘ප්‍රා’ ඇතුළු එම කණ්ඩායම්වලට නායකත්වය දුන් අයයි.

මේ වන විට උතුරේ ජනතාවගේ ප්‍රසාදය දිනා සිටි විජයගේ ආරක්ෂාව සඳහා උදව් කිරීමට ප්ලොට් සංවිධානයේ නායක උමා මහේෂ්වරන් ඉදිරිපත් වූ ආකාරය ප්‍රේමසිරි පෙරේරා පොලිසියට විස්තර කළේය. දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් වැද සිටි නමුත් උමා මහේෂ්වරන් කොටි සංවිධානයට එරෙහිව කටයුතු කළේය. ඔහු දැඩි වාමාංශික අදහස් දැරූ පුද්ගලයකු ලෙස ප්‍රකටය. විජයගේ ආරක්ෂාව සඳහා සිටින අයට ගිනි අවි කිහිපයක් දෙන්නටත්, පක්ෂයේ කිහිප දෙනකුට ගිනි අවි පුහුණුව දීමටත් උමා මහේෂ්වරන් කැමැත්ත පළකොට තිබුණි.

මේ පිළිබඳ චන්ද්‍රිකා දැන නොසිටි බව සිතිය හැකිය. උමා මහේෂ්වරන් දෙතුන් වරක් කොළඹට පැමිණ විජය හමු වූයේ රහසිගතවය. දිනක් මා පොල්හේන්ගොඩ නිවසට ගිය විට විජය සමග සිටි ඔසී අබේගුණසේකර මට වැඩක් පැවරීය. ඒ බොරැල්ලත්, මරදානත් අතර එක්තරා ස්ථානයකට මගේ මෝටර් රථයෙන් යන ලෙසය. මම පාවිච්චි කරමින් සිටි මෝටර් රථය අඳුරු වීදුරු සහිත එකකි. අදාළ ස්ථානයේ මෝටර් රථය නවත්වාගෙන සිටින ලෙසත්, එවිට යම් පුද්ගලයකු මෝටර් රථයට නගිනු ඇති බවත්, ප්‍රශ්න කිරීමකින් තොරව ඔහු පොල්හේන්ගොඩ නිවෙසට රැගෙන එන ලෙසත් ඔසී මට කීවේය. මා පොල්හේන්ගොඩ නිවසට කැඳවාගෙන ආවේ උමා මහේෂ්වරන් බව ඔසී මට කීවේ දින ගණනාවකට පසුවය. උමාගේ පැමිණීම දැනසිටින්නේ විජය හා ඔසී පමණක් විය යුතු බව මට සිතුණි.

ඝාතනයට ලක්වන්නට සති කිහිපයකට පෙර ජනවාරි මාසයේ දිනෙක විජය, වයි.පී. ද සිල්වා, ප්‍රේමසිරි පෙරේරා, මරදානේ පිහිටි මහජන පක්ෂ කාර්යාලයේ කතාබහක යෙදෙමින් සිටියහ. ඔවුන් කතාබහ කරමින් සිටියේ විජයගේ නායකත්වයෙන් මේ වන විට ගොඩනගා තිබුණු එක්සත් සමාජවාදී පෙරමුණේ මංගල රැලිය පිළිබඳවය. එය පෙබරවාරි 21 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමකොටගෙන තිබුණි. පෙරමුණ ගොඩනැගීමට කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය මෙන්ම නව සමසමාජ පක්ෂයද එකඟ වී සිටීම ගැන විජය මහත් සතුටට පත්ව සිටියේය.

ඒ කතාබහ අතරතුර චන්ද්‍රිකා හදිසියේම පක්ෂ කාර්යාලයට ආවාය. ඇයගේ මුහුණ කෝපයෙන් දැල්වෙමින් තිබුණි. ඇය ඔවුන් සිටි කාමරයට ඇතුළු වූයේ විජයට බැණ වදිමිනි, චන්ද්‍රිකාගේ මුවින් පිට වූ අසභ්‍ය වචන එතැන සිටි කිහිප දෙනාට අමුත්තක් වූයේ නැත. ප්‍රේමසිරි පෙරේරා ඇයගේ අතින් අල්ලා චන්ද්‍රිකා වාඩි කරවීමට වෑයම් කළේ ය.

‘‘මැඩම් මේ පුටුවෙන් ඉඳගන්නකෝ... මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් ඒ ගැන කතා කරමු...’’

‘‘නෑ.. මට මේ ..... ඉන්නතැනක වාඩිවෙන්න ඕනෑ නැහැ. මූ මට හොරෙන් උමා එක්ක වැඩ කරනවා. මමයි පක්ෂෙ සභාපති. මට නොකියා උමා ළඟට අපේ කොල්ලෝ කීප දෙනෙක්ම ඇරලා තියෙනවා. වෙඩි තියෙන හැටි පුරුදු කරන්න... අපේ ගෙදර හිටිය අර පතිරණත් ඇරලා... මම දැන් දවස් ගාණක් තිස්සේ මිනිහව හොයනව. අදයි මම දැන ගත්තේ. දැනගනින් මේ පරවැඩ කරන කොට මම උඹව තියන්නේ නැහැ...’’ චන්ද්‍රිකා දිගටම කියාගෙන ගියාය. විජය පිළිතුරු දෙන්නට ගියේ නැත.

චන්ද්‍රිකාට මේ තොරතුරු ලැබුණේ කෙසේ දැයි විජය ඇතුළු පිරිස දැන ගත්තේ පසුවය. විජය පක්ෂ කාර්යාලයේ සිටින අතරතුර උමා මහේෂ්වරන්ගෙන් දුරකථන ඇමතුමක් පොල්හේනේගොඩ නිවසට ලැබී තිබුණි. විජය නිවසේ නොසිටි බැවින් ඔහු චන්ද්‍රිකාට කියා සිටියේ පුහුණුව ලබන්නට තමන් වෙත ආ පිරිස කොළඹ එවන්නට තව දින කිහිපයක් පමාවන බවය. චන්ද්‍රිකා, විජය හා උමාගේ වැඩපිළිවෙළ දැන ගත්තේ එවිටය.

ප්‍රේමසිරි පෙරේරා රහස් පොලිසියට මේ සිදුවීම් සියල්ල කීවේය. ඔහුගේ ප්‍රකාශයෙන් පසු චන්ද්‍රිකාගේ පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විමර්ශන කිරීම පොලිසිය විසින් නතර කළ බව ආරංචි විය. මේ පිළිබඳ පරීක්ෂණ දිගටම ගෙන යාම බඹර ගුල ඇවිස්සීමක් විය හැකි බව පොලිසියට සිතෙන්නට ඇත.

අවසාන අවුරුදු කිහිපයේදී විජය හා චන්ද්‍රිකා අතර අසමගිය බොහෝ වැඩි වී තිබුණි. එය සාමාන්‍ය පවුල් ජීවිතයක අඬදබරවලින් ඔබ්බට ගිය එකකි. විජයගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ හර්මන්, අපට කී කතාවක් මෙහිදී මගේ සිහියට නැගෙයි. මේ හර්මන්ගේ වදන්ය.

‘‘දවසක් උදේ මම විජේ මහත්තයට පණිවුඩයක් දෙන්න යනකොට මහත්තයා ටොයිලට් එකේ. දොර වහගන්න බැරිවෙන්න මැඩම් කකුලකින් දොර හිරකරගෙන මහත්තයට කුණුහරුපෙන් බණිනවා. මහත්තයාගේ කුලේ ගැන කිය කියා තමයි බැන්නෙ. විජය මහත්තයා ගැන මට හරි දුකක් ඇති වුණා.’’

චන්ද්‍රිකා තම වලව් පන්තිය ගැනත්, බණ්ඩාරනායක දියණියක් වීම ගැනත් මහත් ආඩම්බරයෙන් සිටියාය. ඇය විජයගේ සිනමා ජීවිතය සැලකුවේ අවමානයෙනි. එයට එක් හේතුවක් වන්නට ඇත්තේ විජය තම මිතුරු නළු නිළියන් සමග පැවැත්වූ සබඳකම්ය. ඇය ඔවුන්ගේ නම් ඈඳා විජයට පරිභව කළ ආකාරය අපි ඕනෑතරම් අසා ඇත්තෙමු. එහෙත් චන්ද්‍රිකාගේ ඊර්ෂ්‍යාවට හේතු වන්නට ඇත්තේ දේශපාලකයකු ලෙස විජය ලබමින් සිටි ජනප්‍රියත්වයයි. ඊළඟ මැතිවරණයකදී ඔහු රටේ නායකයා බවට පත් වීමට බොහෝ ඉඩකඩ තිබුණි.

තීරණාත්මක දේශපාලන අවස්ථාවලදී ඇය විජයගේ කකුලෙන් අදිමින් ඔහුට බාධා කළාය. විජයගේ යාපනය සංචාරය හා විවිධ ගරිල්ලා නායකයන් හමුවන්නට ගිය ගමන උදාහරණ දෙකකි. තම අත්අඩංගුවේ සිටින යුද හමුදා සෙබළුන් දෙදෙනකු භාර ගැනීමට උතුරට පැමිණෙන ලෙස කොටි සංවිධානය විජයගෙන් ඉල්ලීමක් කළේය. කොටි නායකයන් වූ රාහිම් හා කිට්ටුගෙන් දුරකථන ඇමතුම් ලැබුණු දිනය මට තවමත් මතකය. විජය හා චන්ද්‍රිකා එවකට පදිංචිව සිටියේ කින්සි පාරේ කුලී නිවසකය. දුරකථන ඇමතුමෙන් පසු නිවසේ කෙරුණු සාකච්ඡාව මම අසා සිටියෙමි. චන්ද්‍රිකා විජයගේ ගමනට දැඩි විරෝධය පළ කළාය. එතැන සිටි ඔසී, වයි.පී. ඇතුළු පිරිස කියා සිටියේ විජය යා යුතු බවය. ආරධනයක් නොලැබුණද, පක්ෂයේ සභාපති ලෙස චන්ද්‍රිකා ද යා යුතු බව කිහිප දෙනෙක් යෝජනා කළෝය. චන්ද්‍රිකා එයද ප්‍රතික්ෂේප කළාය.

විජයගේ යාපන ගමනට විශාල ප්‍රචාරයක් ලැබුණි. කිසිවකුට කන් නොදෙමින් සිටි කොටින් සමග සංවාදයක් ඇති කරගන්නට විජය සමත් වීම ගැන ඉන්දියාවෙන්ද විජයට ප්‍රශංසා හිමි විය. දෙවන වතාවට අප කණ්ඩායමක් සමග විජය යාපනයට යැවීමට සැලසුම් කළ විට චන්ද්‍රිකාද එයට එකතු වුණාය. ඔසී අප සමග කීවේ,

‘‘චන්ද්‍රිකාට අපි එන්න කිව්​වේ නැහැ. එයාට ඕනෑ කියලා ආවා.’’ කියාය.

අද පෙබරවාරි 16 වැනිදා චන්ද්‍රිකා, සීදූව විජයකුමාරතුංග පිළිමය ඉදිරියේ අනුස්මරණ උත්සවයක් පවත්වනු ඇත. විජය අනුස්මරණය කරනු වස් අප මේ පිළිරුව තනද්දී, එංගලන්තයේ පදිංචිව සිටි චන්ද්‍රිකා එය අනවශ්‍ය දෙයක් යැයි අපට පණිවුඩ එව්වාය. එය නිමවා, පොල්හේන්ගොඩ විජය නිවස ඉදිරියේ ස්ථාපිත කළ විට විජයගේ රසිකයෝ වැල නොකැඩී පැමිණ උපහාර දැක්වූහ. අවුරුදු කිහිපයකට පසු ලංකාවට පැමිණ ශ්‍රීලනිපය සමග එක් වී තම දේශපාලන ගමන ඇරඹූ ඇය කිසි දිනෙක විජයගේ පිළිරුව දැක ගන්නට ආවේ නැත. විධායක ජනාධිපති ධුරයට පත් වූ පසු ඇය කළේ විජයගේ පිළිරුව ගලවා එහි පාදමේ තිබූ අපගේ නම් ගම් සියල්ල ඉවත්කොට සීදුවට ගෙන යාමය. විජය නමින් කෞතුකාගාරයක් ඉදිකරන්නට සැලසුම් කොට තිබූ පොල්හේන්ගොඩ විජයගේ නිවෙස විකුණා දැමීමයි.

විජය ඝාතනයට ලක් වූ විට එදා පුවත්පත් කියා සිටියේ සමනලයකුට වෙඩි තැබූ බවය. විජය කෙරෙහි චන්ද්‍රිකා දැක්වූ ආකල්පය හඳුන්වා දිය යුත්තේ සමනලයකුට වෛර කිරීම කියාය.

 - බන්දුල පද්මකුමාර - 

Rate this item
(2 votes)

Live