April 05, 2020

ෂිට් වැඩියෙන් ගැළපෙන්නේ ට්‍රම්ප්ටද? මෛත්‍රිපාලටද?

‘‘ෂිට්’’ යන වචනය සිංහල අරුතෙන් ලියන්නට ගියහොත් එය පාඨක ඔබට අපුලක් ගෙන දෙන බවට සැකයක් නැත. එහෙත් ‘ෂිට්’ යනු ඉංග්‍රීසි කතා කරන රටවල පොදු ජනවහරට හුරුපුරුදු වචනයකි. අපේ රටේ තරුණ තරුණියන්ද දැන් මේ වදන පාවිච්චි කරනු අසන්නට ලැබේ. පසුගිය මාස තුනක පමණ කාලයක් තිස්සේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය හා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇරඹි දේශපාලන ගැටුම පිළිබඳ පුවත් වාර්තා මහත් උනන්දුවෙන් විමසමින් සිටි මට ‘ෂිට්’ වචනය නිතර අසන්නට ලැබුණි.

මම, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය උපහාසයට ලක් කරන, විටෙක අපහාසයටත් ලක්කරන ප්‍රහසන රූපවාහිනි වැඩසටහන් තුනක නිත්‍ය රසිකයෙක් බවට පත් වී සිටින්නෙමි. ඒ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ අතිශය ජනප්‍රිය, දක්ෂ ප්‍රාසාංගික නිවේදකයන් තිදෙනකු වන සෙත් මයර්ස්, ස්ටීවන් කොල්බයර් හා ට්‍රවර් නොආ විසිනි. ඔවුහු හොලිවුඩ් සිනමා තරු මෙන් ජනප්‍රියය. රසික සංඛ්‍යාව මිලියන ගණන් ඉක්මවයි. මේ තිදෙනාම තම වැඩසටහන්වලදී ඉතා රසවත් ලෙස ජනාධිපතිවරයා බදු වංචාකරුවෙක්, හොරෙක්, දිව දෙකේ මිනිහෙක්, පිස්සෙක්, මෝඩයෙක්, ගොනෙක්, බූරුවෙක් බව පවසන්නේ ඔබ සිනා සාගරයක ගිල්වමිනි.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මතයන් ප්‍රසිද්ධ කිරීම සඳහා ට්විටර් පණිවුඩ යොදා ගැනීම පුරුද්දක් කොටගෙන තිබේ. සමහර දිනෙක ඔහු ට්විටර් පණිවුඩ අටක්, දහයක් වුවද ප්‍රකාශයට පත් කරයි. ඔහු පිස්සෙක් මෙන් ට්විටර් පණිවුඩ නිකුත් කරන බව කියන ස්ටීවන් කෝල්බයර් කියන්නේ ඒවා ෂිට් පණිවුඩ කියාය. ෂිට් යන වචනය රැවටිලිකාර, නිවට, වංචාකාර, ද්‍රෝහී දේශපාලකයකු හඳුන්වා දෙන්නට හොඳම වචනයකි. ජනාධිපති කියන්නේ ෂිට් ගොඩකි.

කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු බොහෝ දෙනෙක්, ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ක්‍රියාත්මක කළ යුතු යයි කියා සිටියද ඔහු පරාජය කළ නොහැකි විය. ඔහු ඉතාම කපටි ලෙස සිය විධායක බලය පාවිච්චි කළේය. ඔහුට එරෙහි සාක්ෂිකරුවන් කොංග්‍රසය ඉදිරියට යාම වළක්වන්නට කටයුතු කළේ ය. ධවල මන්දිරයේ නිලධාරින්ට විවිධ තහංචි පැනවීය. කොංග්‍රස් මණඩලයේ කථානායකවරියට ප්‍රසිද්ධියේ අවමන් කළේය. අවසානයේ සෙනෙට් සභාවේදී වැඩි ඡන්ද හතරකින් ජය ගත්තේය. ට්‍රම්ප්ට එරෙහි චෝදනාව වූයේ 2020 ජනපතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා විය හැකි ජෝ බයිඩන්ගේ පුත්‍රයා හා සම්බන්ධ වංචාවක් පිළිබඳ තොරතුරු ගැනීමට යුක්රේන රජයට බලපෑම් කිරීමය. ඒ සඳහා යුක්රේන රජයට දීමට කොංග්‍රසය විසින් අනුමත කොට තිබූ ඩොලර් මිලියන ගණනාවක් වූ යුද ආධාර රඳවාගෙන සිටීමය.

ට්‍රම්ප්ගේ මේ ක්‍රියාව රට පාවා දීමක් බවත්, විදේශීය රාජ්‍යයක් රටේ අභ්‍යන්තර දේශපාලනයට ඈඳා ගැනීමක් හා රටේ ස්වෛරීභාවය අනතුරට ලක් කිරීමක් බවත් ට්‍රම්ප්ගේ විරුද්ධවාදීහු කියති. මීට පෙර දෝෂාභියෝගයකට ලක් වී තම තනතුර අහිමි කරගත්තේ බිල් ක්ලින්ටන්ය. ඔහුට එල්ල වී ඔප්පු වුණු චෝදනාව ධවල මන්දිර සේවිකා මොනිකා ලෙවන්ස්කි සමග අනාචාර රංගනයක යෙදීමය. ඒ හා සසඳන විට ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අසාධාරණ බව දේශපාලන විචාරක මතයයි. බොහෝ දෙනාගේ ආදරය දිනූ බිල් ක්ලින්ටන් ලජ්ජාසහගත ලෙස පලවා හරිනු ලැබූ ජනාධිපතිවරයෙක් ලෙස ඉතිහාසගත විය. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වනු ඇත්තේ දෝෂාභියෝගය ජයගත් ජනාධිපතිවරයකු ලෙසය. ඒ දේශපාලනයේ හැටිය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ගතවුණු මාස තුනේදී මට නිරතුරුවම සිහිපත් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ ධුර කාලයයි. ඔහු රට මහත් විනාශයකට ඇද දමමින්, ජනාධිපති ධුරය විගඩමක් බවට පත් කළ ආකාරය විග්‍රහයකට ලක් කිරීම අපේ රටේ දේශපාලන ජඩ ස්වභාවය වටහා ගන්නට අවස්ථාවක් සලසනු ඇති බව මගේ හැඟීමයි.

පල්ලවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන 2015 ජනවාරි 09 වැනිදා මෙරට හත්වැනි ජනාධිපති ධුරයට පත් වූයේ ලක්ෂ හැට දෙකක ජනතා කැමැත්තෙනි. එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල එය ලබා ගත්තේ අප සියලු දෙනා මවිත කරවන පාවාදීමක්ද දේශපාලන ඉතිහාසයට එක් කරමිනි. ඔහු ඊට පෙර දින රාත්‍රියේ තම පක්ෂ නායකයා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග බිත්තර ආප්ප සංග්‍රහයක් භුක්ති වින්දේ තමන් කිසිදා පක්ෂය හැර නොයන බවත්, ජනාධිපති තරගයට ඉදිරිපත් නොවන බවත් සපථ කරමිනි. පසුදා ඔහු කළ පක්ෂ මාරුව බෲටස් විසින් සීසර් අධිරාජයාට පිටුපසින් පිහි පහරක් එල්ල කිරීම හා සමානය. මේ පිහි පහර එල්ල කරන්නට ඔහුට ලැබුණු වරප්‍රසාද පරම්පරා ගණනාවකට සෑහෙන බවට කතාවක් පැතිර ගියේය. බලවත් තානාපති කාර්යාල කිහිපයක්ම මේ සිදුවීම් පිටුපස සිටි බව රහසක් නොවේ. ඔවුන්ට ඕනෑකම තිබුණේ රාජපක්ෂ රෙජීමය කෙසේ හෝ පෙරළා දමන්නටය.

විරුද්ධ පක්ෂයෙන් එල්ල වූ බරපතළ දූෂණ වංචා, පවුල්වාදී චෝදනා නිසා මහින්ද රාජපක්ෂ රජයේ ජනප්‍රියත්වය පිරිහෙමින් තිබුණි. එය පැතිර ගොස් තිබුනේ නිහඬව දලුලන ගින්නක් සේය. තම ජනාධිපතිවරණ සටනේදී එම ගින්නට පෙට්‍රල් දමන්නට මෛත්‍රී සමත් විය. ඔහු ජනපතිවරණ වේදිකාවල දී කියූ බොරු කෙබර බොහෝ දෙනා විශ්වාස කළ බවක් පෙනී ගියේය. බකිංහැම් මාලිගාවෙන් රාජපක්ෂලා ගෙනා රත්තරන් අශ්වයන්, නාමල් බේබිලාගේ ලැම්බොගිනි, පුතුන් තුන්දෙනාට වෙන් කළ හෙලිකොප්ටර් යානා, ඩුබායිවල ඇතැයි කියන තරු පහේ හෝටල්, සඟවා ඇති බව කියන රන් තොග හා ඩොලර් මිලියන ගණන් ගැන උපාසක චරිතයක් සේ පෙනුණු මෛත්‍රීගේ මුවින් පිටවුණ චෝදනා කී දෙනෙක් නම් විශ්වාස කරන්නට ඇද්ද? ප්‍රතිඵලය වූයේ රට ත්‍රස්තවාදයෙන් බේරාගත් නායකයා, ජනතාව විසින් පරාජයට පත් කරනු ලැබීමය.

පාලන කාලය තුළදී රටට සිදු වුණු මහා විනාශය ගැන එක් ලිපියකින් විස්තර කළ නොහැකිය. ඒ ගැන මෛත්‍රීගේ දියණිය චතුරිකා ලියූ අපේ තාත්තා පොත මෙන්, දෙතුන් ගුණයක පොත් ලිවිය යුතුව තිබේ. කුඩා අවධියේදී මෛත්‍රී සිය පියා ටොක්කක් ඇනීම නිසා කෝපයට පත් වී කුඹුරක් ගිනි තබා විනාශ කළ බව චතුරිකා විසින් කියා තිබුණි. තමන්ට අගමැතිකම නොදීම නිසා මහින්ද සමග වෛර බැඳගත් ඔහු එජාපය සමග එක් වී රටම ගිනි තිබ්බේය. පොතක කරුණු අතහැර දමමින් ඔහුගේ පාලන සමයේ අවසාන කාලයේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන යමක් මේ ලිපියට එකතු කරන්නෙමි. රාජ්‍ය බුද්ධි අංශය ඍජුවම තොරතුරු සැපයූවේ ජනාධිපතිටය. ඔහු රාජ්‍ය බුද්ධි අංශය ඇත්තටම යොදවානෙ තිබුණේ තම ප්‍රතිවාදීන් ගැන රහස් තොරතුරු සොයන්නට හා දුරකථන ඇමතුම් පටිගත කරන්නටය. මේ නිසා ඔහු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. ඒ දිනවල කිසියම් නිලධාරියෙක් මා සමග කීවේ ජනාධිපති හා බුද්ධි අංශ ප්‍රධානියා තාත්තයි පුතයි වගේ කියාය. බුද්ධි අංශ ප්‍රධානියා දිනකට හත්අටවතාවක්ම පාහේ ජනපතිට දුරකථන ඇමතුම් දෙයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන්නට යන බවට මුලින්ම තොරතුරු ලැබුණේ අප්‍රේල් මුලදී, ඉන්දියානු බුද්ධි අංශයෙනි. මෛත්‍රීගේ බුද්ධි අංශ ලොක්කා මේ බව ජනාධිපතිට දැනුම් දුන්නා දැයි දන්නේ ඔවුන් දෙදෙනා පමණි. බුද්ධි අංශ, සහාරන් ත්‍රස්තවාදියකු බව කියා සිටියේ 21 වැනිදා ප්‍රහාරයෙන් පසුවය. ඊට පෙර ඔවුන්ට ඔහු අන්තවාදී දේශකයෙක් පමණි. මෛත්‍රී, සහරාන් ගැන නිකමට හෝ අසා තිබුණේ නැත්ද? ප්‍රහාරය සිදුවන විට ජනාධිපති සිටියේ සිංගප්පූරුවේ සාප්පු සවාරියකය. ප්‍රහාරයෙන් පසු තවත් අනතුරු විය හැකි බව සිතූ අගමැති රනිල් වහාම ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවීය. සිංගප්පූරුවේ සිටි මෛත්‍රී කළේ කුමක්ද? දුරකථන ඇමතුමක් දී තම ආරක්ෂක ලේකම් හමුදාපතිවරුන්ට හා පොලිස්පතිට එම රැස්වීමට යාම තහනම් කිරීමය. අන්තිමට රනිල්ට සිදු වූයේ ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගොස් ලේකම්වරයාගෙන් ප්‍රහාරයෙන් පසු වැඩපිළිවෙළ හා රටේ ආරක්ෂක තත්ත්වය ගැන තොරතුරු විමසීමටය.

මෛත්‍රී විදේශගතවන අවස්ථාවලදී වැඩබලන ආරක්ෂක ඇමැතිවරයෙක් පත් කරන්නේ නැත. ඔහු ලංකාවේ නැති විට රටට ආරක්ෂක ඇමැතිවරයෙක් නැත. 2009 යුද්ධය අවසන් කරන විට ජනාධිපති මහින්ද විදේශ සංචාරයක නිරත වී සිටියේය. ඔහු වැඩබලන ආරක්ෂක ඇමැති ධුරය පවරා ගියේ මෛත්‍රීටය. ඒ නිසා තමන්ද යුද ජයග්‍රහණයේ වීරයකු බව මෛත්‍රී කියා සිටීම පිළිබඳ ඔබට මතක ඇතැයි සිතන්නෙමි. රටේ ව්‍යවස්ථාව අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම පැවරෙන්නේ ජනාධිපතිවරයාටය. ආරක්ෂාව බිඳවැටීම පිළිබඳවත් වගකිව යුත්තේ ඔහුය. එහෙත් ඔහු කළේ කුමක්ද? ඒ වගකීම භාර ගන්නේ නම් පොලිස්පතිවරයාට තානාපතිකමක් දෙන බව කීමය. එය ප්‍රතික්ෂේප වූ විට පොලිස්පති හා ආරක්ෂක ලේකම් සිරගත කළේ රට ඉදිරියේ තම නම බේරා ගන්නටය. ජනතාව ටික දවසකට හෝ රවටන්නට කොමිසමක් පත් කළේය. ඒ මළල්ගොඩ කොමිසමේ වාර්තාව තවමත් හමස් පෙට්ටියේ දාගෙන සිටින්නේ ඇයිදැයි මෛත්‍රීගෙන් විමසිය යුතුව තිබේ.

ධුර කාලයෙන් පසු නැවත දේශපාලනයට නොඑන බව කී, කෙහෙල් කොළේ බත් කන සරල මිනිහා කූට අන්දමින් පැජට් පාරේ, ප්‍රකෝටි ගණනාවක් වටිනා රජ නිවසක් අල්ලා ගත්තේය. දැන් ඔහු පොළොන්නරුවෙන් දේශපාලනයට පිවිසෙන්නට සැරසෙයි. පොදු ජන එක්සත් පෙරමුණ හදන සන්ධානයේ සම සභාපතිකම ඉල්ලයි. ඡන්දය දිනා, ඊළඟ කථානායක ධුරයට පත්වීම ඔහුගේ අරමුණ බව අසන්නට ලැබුණි.

මේ ලිපිය ආරම්භයේදී සටහන් වුණු ෂිට් යන වචනයද ඇතුළුව ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දීමට යෙදූ සියලු නාමපද මෛත්‍රීපාල සිරිසේනට ආදේශ කළ හැකිය. බලයේ සිටියදී ඔහුට එරෙහිව ගෙනෙන දෝෂාභියෝගයක් පිළිබඳ දූෂමාන ආරංචි පැතිර ගියද එය කරළියට ආවේ නැත. දැන් දෝෂාභියෝගයක් ගෙන එන්නට නොහැකි වුණද, මෛත්‍රීපාල සිරිසේනට ඒ හා සමාන දඬුවමක් ලබාදෙන්නට පොදුජන එක්සත් පෙරමුණට අවස්ථාව ලැබී තිබේ. යහපත් දේශපාලනයක් වෙනුවෙන් ඒ අවස්ථාව මග නොහැරිය යුතුය.

(බන්දුල පද්මකුමාර)

Rate this item
(0 votes)